එක් විදුහල්පති සංගමයක් ආපසු හැරෙයි- පොදු සටන අඛණ්ඩයි

එක් විදුහල්පති සංගමයක් ආපසු හැරෙයි- පොදු සටන අඛණ්ඩයි

සිසු දරුවන් පත්ව ඇති අපහසුතාවය සලකා අපොස උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණක් එළඹෙන 21 වෙනිදා  වනවිට යොමුකර අවසන් කිරීමට තම සංගමය තීරණයකර ඇතැයි විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.

 
එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව දරුවන්ට විභාගට මුහුණදීමට නොහැකි බවයි.
 
"මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබලා ශිෂ්‍යත්ව දරුවන්ට විභාග ලියන්න බෑ. උසස් පෙළ සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය ලබලා විභාගයට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි ශිෂ්‍යත්ව විභාගයට එහෙම මුහුණදෙන්න බෑ. මේ ශිෂ්‍යත්ව විභාගය තිබ්බොත් දරුවන්ට අසාධාරණයක් වෙනවා. පාසල පටන්ගන්න දවසට ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමුකිරීම පසෙකට තියලා උසස් පෙළ විතරක් අපි ඉල්ලුම්පත්‍ර යොමුකරනවා."
 
කෙසේ වෙතත් විදුහල්පති සංගමයක් යයි කියාගන්නා එක් පුද්ගලයෙකු වෘත්තීය ක්‍රියාමාර්ග පසෙක ලා දරුවන් වෙනුවෙන් යයි කියමින් කටයුතු කරන බව නිවේදනය කර තිබුණද, ගුරු-විදුහල්පති එකමුතුව ස්වකීය වෘත්තීය ක්‍රියාමාර්ගය කිසිසේත්ම අකුළානොගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
 
ගුරු-විදුහල්පතිවරුන් සිටින්නේ පොදු වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ බවත්, තම ඉල්ලීම් ලැබෙන තුරු ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉවත්වීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුවන බවත් ඔහු පෙන්වාදෙයි.
 
මේ අතර රාජකාරියේ නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5,000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඒ්  අනුව රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මඟින් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
 
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව එළැඹෙන අයවැය මඟින් විසඳන තුරු සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා රාකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කරන ලදී. එසේ වුවද පසුගියදා ලැබුණු වැටුපට එට එකතු කරන නොතිබුණු බවට ගුරු සංගම් විසින් චෝදනා කරන ලදී.
 
කෙසේ වෙතත්  සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරියේ නිරත ගුරුවරුන් සඳහා එම දීමනාව කළාප අධ්‍යක්ෂවරයා මඟින් අදාළ පාසල් වෙත යොමු කර ඇති බවත්, එසේම රාජකාරිය ඉටුකළ විදුහල්පතිවරුවරුන්ට අදාළ ගෙවීම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ලබාගත හැකි බවත් දන්වා තිබේ.
 
අනුකමිටුව විසින් නිර්දේශිත ගුරු සේවාව, විදුහල්පති සේවාව සහ ගුරු උපදේශක සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් නම් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය එළැඹෙන නොවැම්බර් 20 වැනිදා වන විට නිකුත් කිරීමටත්, ඉතිරි නිර්දේශ මාස 6ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර තිබේ.