කලාප සේවකයින් ඉන්නෙ දැඩි අවධානමක – බලධාරීන්ගෙන් කිසිදු විසඳුමක් නැහැ

gamini-ratnayaka

“මේ වෙනවිට කලාප සේවකයින් බොහෝ පිරිසකට කොවිඩ් වසංගතය ආසාදනය වී ඇති බවත් බොහෝ පිරිසකට බෝඩිම්වලම නිරෝධායනය වීමට සිදුව ඇති බවත් මේ නිසා කලාප සේවකයින්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්වී ඇති බවත් වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක පවසයි. එසේම ආයෝජන මණ්ඩලයේ බලධාරීන් හෝ කම්කරු කොමසාරිස්වරයා හෝ මේ සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් මෙම කලාප සේවකයින්ට ලබා දී නොමැති බවද ඔහු පෙන්වා දෙයි. ඔහු මේ බව පැවසූයේ පසුගිය 20වනදා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.”

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්…

“කොවිඩ් වසංගතය ආරම්භක මොහොතේ සිට මේ දක්වා දිගටම නිදහස් වෙළඳ කලාප විවෘතව තියෙනවා. රටම ලොක්ඩවුන් කළත් වෙළඳ කලාප ලොක්ඩවුන් කලේ නැහැ. වසංගත තත්වය සමග මෙහි සේවය කරන සේවක සේවිකාවන් මුහුණපාන ගැටලු ගණනාවක් තියෙනවා අවධානයට ගතයුතු.

අප රටේ ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක්වෙලා. ඩොලර් සංචිත නොමැති වීමෙන් රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කරලා. රටට ඩොලර් ගේන ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙලා තියෙන්නෙ වෙළඳ කලාප ආශ‍්‍රිත නිෂ්පාදනයි. මහබැංකු වාර්තාවට අනුව 2021 අවුරුද්දෙ පළමුවන කාර්තුවෙ ඇමරිකන් ඩොලර් මිලියන 300කට ආසන්න මුදලක් වෙළඳ කලාප සේවක ශ්‍රමයෙන් අප රටට ගෙනත් දීලා තියෙනවා.

එම සේවක සේවිකාවන් රටට ඩොලර් ගේන නිෂ්පාදනවල මෙවලම් බවට පත්කර ගත්තාට ඔවුන්ට හිමි වටිනාකම සහ ඔවුන්ට හිමි දායකත්වයේ තක්සේරුව මෙතෙක් ලබාදෙන්න මේ ආණ්ඩු සමත්වෙලා නැහැ. මේ වෙලාවෙ නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් කොවිඩ් වසංගතයේ ගොදුරු බවටත්, පොකුරු බවටත් පත්වෙමින් මේ ආර්ථික අභියෝගය ජයග්රහණය කරන්න මැදිහත් වෙමින් දායකත්වය දෙනවා.

මේ වනවිට වෙළඳ කලාපවල PCR කරන ප‍්‍රතිශතය කරන්නෙ ඉතාමත් අඩුවෙන්. බොහෝ ආයතන පාලකයින් කරන්නෙ ආසාදිතයා නිරෝධායනය වෙන්න යවනවා බෝඩිමට. රෝගියාගේ සමීපතමයින් PCR කරන්නෙවත් නැතිව ආයතන ඇතුලේ තියෙලා ආයතනේ පවත්වගෙන යනවා.

ආසාදිත වෙලා නිරෝධායනයට ලක්වන සේවකයාගෙ/සේවිකාවගෙ වැටුප් කපනවා. පඩි භාගයයි දෙන්නෙ. දීමනා සියල්ල කප්පාදු කරනවා. නිවාඩු කපනවා. දවස් 14ක් නිරෝධායනය කළොත් දින 10ක පඩි දීලා දවස් 04ක් වැටුප් රහිත නිවාඩු.

කොවිඩ් වසංගතය දඩමීමා කරගෙන සේවක දඩයම ක්‍රියාත්මක වෙලා. කොන්ත්‍රාත් හා ආදේශක සේවක රැකියා අහිමි කරලා. වෘත්තීය සමිති ක්‍රියාකාරින් දඩයම් කිරීමට කොවිඩ් වසංගතය ආශිර්වාදයක් කරගෙන.

වෙළඳ කලාප ආයතන පිළිබඳ වැඩි වගකීම තියෙන්නෙ ජනාධිපති යටතේ ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට. ජීවිත අවදානම නොතකා වැඩකරන මෙම සේවක සේවිකාවන් මුහුණදෙන ගැටලු විසඳන්න ක‍්‍රමානුකූල විධිමත් මැදිහත්වීමක් ආයෝජන මණ්ඩලය කරන බව අපට පේන්නෙ නෑ. අපි දිගින් දිගටම මේ සම්බන්ධව සාකච්ඡා ඉල්ලා තිබුනත් දෙන්නෙ නැහැ. මෙම සේවක සේවිකාවන්ගෙ අයිතිවාසිකම් හා වරප්රසාද කප්පාදු කිරීම සම්බන්ධව මැදිහත් වෙන්න කියා ආයෝජන මණ්ඩල සභාපතිවරයාගෙන් හා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලනවා. කොවිඩ් වසංගත තත්වය යටතේ සේවය කිරීමේ නිශ්චිත මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන්න කියන බලකිරීම කරනවා. විශේෂයෙන් ආශ‍්‍රිතයො PCR කරන්න. බෝඩිංවල සේවක සේවිකාවන් මුහුණපාන ගැටලු ගැන විධිමත් ක්‍රමවත් මැදිහත් වීමක් කරන්න.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිගෙන් හෝ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් එවැනි මැදිහත් වීමක් නොලැබුනොත්, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය ලෙස අපි සේවක අයිතිවාසිකම් හා වරප‍්‍රසාද රැකදීම වෙනුවෙන් ගතයුතු සියලූ පියවරයන් ගැනීමට සූදානම් බව ප්රකාශ කරනවා.”
(ලංකා ට්‍රත්)