පැමිණිලිවලට පමණක් සීමා නොවී කටයුතු කරන ලෙස ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

පැමිණිලිවලට පමණක් සීමා නොවී කටයුතු කරන ලෙස ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් වූ සාධනීය ප‍්‍රවේශයකට අප ගුරු සංගමය මෙන් ම අනෙකුත් ගුරු හා විදුහල්පති සංගම් විසින් තම මැදිහත්වීම  ඕනෑම මොහොතක ලබා දෙන බව ද, පැමිණිලිවලට පමණක් කරන මැදිහත්වීම් වලට සීමා නොකර පුළුල් ප‍්‍රවේශයකින් සිදුකරන ලෙස ද ඉල්ලා ජාතික ළමා හා ආරක්ෂක අධිකාරිය විසින් එවන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් එහි සභාපතිවරයා වෙත ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් යවන ලද පිලිතුරු ලිපියේ ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලමේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

NCPA/LED/21/09/06 ලිපියට ප‍්‍රතිචාර දැක්වීම

2021/09/14 දිනැති NCPA/LED/21/09/06    දරණ ලිපිය මඟින් කරුණු 05ක් යටතේ ඔබ විසින් අප සංගමයේ ප‍්‍රතිචාරය කුමක්දැයි විමසමින් වාර්තාවක් කැඳවා ඇත. එහි සඳහන් කරුණුවලට අදාළ නිශ්චිත පිළිතුරු, ඒ හා බැඳුනු පැහැදිලි කිරීම් සහ අපගේ අදහස් පිළිබඳව දැනුම් දීම මෙම ලිපිය මඟින් අප බලාපොරොත්තු වේ.

i.  ගුරුවරුන් විසින් ආරම්භකල වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අද වනවිට (2021.09.2) දින 74ක් ගත වී ඇත. එමෙන්ම සිසුන් ගේ අධ්‍යයන කටයුතු බිඳවැටී වසර එකහාමරකට අධික කාලයක් ගතව ඇත. (පැහැදිලි කිරීම් පහතින් දක්වනු ලැබේ)

ii.  පාසල් ආරම්භ කිරීම හා වසා දැමීම සිදුකරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන චක‍්‍රලේඛයක් මගිනි. ඒ අනූව 2020/03/12 දින සිට අවස්ථා ගණනාවකදි කොවිඩ් 19 වසංගතයෙන් දරුවන් ආරක්ෂා කිරීම උදෙසා පාසල් වසා දැමීම හා නැවත විවෘත කිරීම සිදු වූ අතර 2021/05/16 දින අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ චක‍්‍රලේඛයට අනූව පාසල් වසා දැමූ  අතර මෙතෙක් කුමන ආකාරයෙන් හෝ පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අදාළව චක‍්‍රලේඛයක් නිකුත් කර නොමැත. එබැවින් නිල වශයෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කර නොමැත. (තවමත් පාසල් නිවාඩුව අවසන් වීම ප‍්‍රකාශයට පත්කර නොමැත). පාසල් විවෘත කිරීමට අදාළ අපගේ යෝජනා විටින් විට අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. එලෙසම පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීමකි.

iii. ඉහත සස පිළිතුර මඟින් පැහැදිලි කර ඇත.

iv. පාසල් වසා ඇති වටපිටාවක් තුළ හා ගුරු විදුහල්පතිවරු ආරම්භ කර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය තුළ 5 වසර ශිෂ්‍යත්වය  හා අ.පො.ස. උසස් පෙළ අයදුම්පත් ප‍්‍රමාද වීම නිසා සිසුන් වෙත සහනයක් ලබාදීමට ක‍්‍රියා කල හැක්කේ අධ්‍යාපන අමාත්‍යාංශයටම පමණි.  අමාත්‍යාංශය මඟින් තවමත් එයට ප‍්‍රතිචාර දක්වා නොමැත. අනෙක් කාරණය වනුයේ පාසල් කටයුතු බිඳවැටී ඇති හා සෞඛ්‍යමය තත්ත්වය සළකා ඉදිරි විභාග කටයුතු පැවැත්වීමට අදාළ වැඩ පිළිවෙලක් මෙතෙක් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර නොමැති වටපිටාවක අයදුම්පත් යොමු කිරීමේ ඉතා හදිසි අවශ්‍යතාවයක් නොවන බවත් වඩා ප‍්‍රමුඛ වන්නේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු හා වසංගතය තුළ විභාග පැවැත්වීමට අදාළ වටපිටාව නිරාකරණය කරගැනීම බව අවධාරණය කර සිටිමු.

v. ගුරු විදුහල්පතිවරු මේ වනවිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටී. ඊට හේතු වූ කාරණා විශාල ප‍්‍රමාණයකි. එම කරුණු සියල්ලම බැඳි ඇත්තේ ගුණාත්මක, ඵලදායි අධ්‍යාපනයක් මෙරට දරු පරපුර වෙත ලබාදීමට අවශ්‍ය වටපිටාව සකස් කරලීමට ය. වෘත්තීය සමිති අඥා පනත යටතේ තම සාධාරණ ඉල්ලීමකට අදාළ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීම වෘත්තිකයකුගේ අනුල්ලංඝනීය අයිතියකි. ඉන් ජන ජීවිතයට බලපෑමක් සිදුවන්නේනම් ඊට පිළියම් යෙදීම හා ගැටළු විසඳා යථාවත් කිරීම රජයේ වගකීම වේ. නමුත් මෙම ගැටළුවේදි රජයේ පාර්ශවය වෘත්තිකයන්ට හෝ මහජනතාවට හෝ සාධාරණය ඉටු කිරීමට මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ඒ අනූව ළමුන්ගේ අනිවාර්ය අධ්‍යාපනයේ වගකීම රජය විසින් පැහැරහැර ඇතිබව පළමුකොට දන්වා සිටිමු.

(1) මෙතෙක් පාසල් කටයුතු ආරම්භ කිරීමට චක‍්‍රලේඛය නිකුත් වී නොමැත.

(2) වසංගත කාලය තුළ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව යතාවත් කිරීමට අදාළව කිසිදු වැඩ පිළිවෙළක් මේ වනතුරුත් රජයෙන් ඉදිරිපත් වී නොමැත.

(30 අධ්‍යාපන කටයුතු පවත්වා ගැනීමට විකල්ප ක‍්‍රමවේද පිළිබඳ නිශ්චිත වැඩ පිළිවෙළක් රජයෙන් ඉදිරිපත් වී නොමැත.

(4) වෘත්තිකයන්ගේ ගැටළු විසඳීමට අවශ්‍ය සාධාරණ මැදිහත්වීම රජයේ පාර්ශවය මෙතෙක් සිදුකර නොමැත.

ඉහත කරුණු කාරණා අනූව දරුවන්ගෙ අධ්‍යාපනය ලැබීමට ඇති මූලික අයිතිය අවහිර කිරීමක් ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන් මඟින් සිදු වී නොමැත. එය රජයේ පාර්ශව විසින් හිතාමතාම මඟහැර ඇති කාරණයකි.

වැඩිදුර පැහැදිලි කිරීම.

පාසල් කටයුතු පවත්වාගෙන යාමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නීත්‍යානුකූල ලෙස චක‍්‍රලේඛයක් නිකුත් නොකොට ගුරුවරුන්ට හා විදුහල්පතිවරුට අධ්‍යාපන ක‍්‍රියාවලියට මැදිහත්වීමට නෛතික අවකාශයක් නොමැත.

ගුරු විදුහල්පතිවරුන් අරඹා ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය කුමක් ද?

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා විශාල අවධානමක් සහිත කාර්යයයක් බැවින් පාසල් කටයුතු නවතා පාසල් නිවාඩුව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ප‍්‍රකාශයට පත්කරන ලදී. නමුත් රටේ අනාගත පරපුර දැනුම්වත් කිරීම තම වෘත්තීය වගකීම ලෙසම නොව සමාජයීය වගකීමක් ලෙස සලකා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් තම ස්වෙච්ඡා තීරණයක් ලෙස හා ස්වේච්ඡා ක‍්‍රියාවලියක් ලෙස මාර්ග ගත (online) ක‍්‍රමයට ඉගැන්වීම් කටයුතු අඛණ්ඩව වසර එක හමාරකට ආසන්න කාලයක් පුරාවට සිදුකරන ලද අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු පහසුකමක් හෝ  මඟපෙන්වීමක් හෝ නියාමනයක් හෝ තීරණ ලබාදීමක් හෝ සිදුකර නොමැති බව අවධාරණය කර සිටිමු.  තම පෞද්ගලික උපාංග, මුදල්, වැය කරමින් සිදුකල මාර්ගගත අධ්‍යාපනය ලබාදීමේ ස්වේච්ඡුා ක‍්‍රියාවලියෙන් තවකාලිකව ඉවත්වීම පමණක් ගුරු - විදුහල්පතිවරුන් සිදුකර ඇත. ඊට හේතුවූයේ රටේ අධ්‍යාපනය යථාවත් කිරීම පසෙකලා අධ්‍යාපනය විකෘති කරන අණපනත් ගෙන ඒමට කරනු ලබන උත්සහයන්ට එරෙහි වූ ගුරු සංගම්, අනෙකුත් වෘත්තීය සමිති හා ශිෂ්‍යයන් මර්ධනය කිරීමත්, ඊට විරුද්ධ වූ  මෙරට දරුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයක් කරමින් සිටි ගුරුවරුන්ට මඩ, අවලාද හා පරිභවයන් සිදු කිරීමත්, එමඟින් ගුරු වෘත්තිකයන්ගේ ආත්ම ගරුත්වයට ඉතා විශාල ලෙස හානි කිරීමත් හේතුවෙනි. වසර 24 ක් පුරාවට ගුරුවරයාට විදුහල්පතිවරයාට තමන්ට හිමි වැටුප අහිමි කර ඇති නමුදු අඛන්ඩව විරෝධය දක්වමින් වුවද අපගේ සමාජයීය වගකීම නොපිරිහෙලා ඉටුකළෙමු. නමුත් මෙරට දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැුකගැනීමට අපට ඇති අනුල්ලංඝනීය අයිතිය මර්දනය කරමින් මෙරට අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහි වීම හා අධ්‍යපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් මැදිහත්වීම වෙනුවෙන් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ලෙස ස්වෙච්ඡුා ක‍්‍රියාවලියෙන් ඉවත්වීම පමණක් අප විසින් සිදුකර ඇති බව අවධාරණය කරමු.

තවද වගකිවයුතු වෘත්තීය සමිති ලෙස  අප මෙරට දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීමට  අධ්‍යාපන අමාත්‍යාංශය ක‍්‍රියාත්මක නොවන වකවානුවක වසංගතය තුළ පාසල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළ යෝජනාවලි  ගණනාවක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. ඉන් ඒකාබද්ධ ගුරු සේවා සංගමය ලෙස ඉදිරිපත් කළ වැඩපිළිවෙළ මේ සමඟ අමුණා ඇත. එම යෝජනාවලිය පිළිබඳ අප විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිහිප අවස්ථාවකදී විමසීම් කළ නමුත් කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් මේ වනතෙක් ලබා දී නැත.

තව ද අප එම යෝජනාවලිය මඟින් ඉදිරිපත් කළ මූලිකම කරුණ ඉතා බරපතල ය. එනම් මෙරට මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය හැදෑරීමේ හැකියාව ඇත්තේ ඉතාම සුළු සිසු පිරිසකට ය. එය දිවයිනේ සමස්ථ ශිෂ්‍ය ප‍්‍රතිශතයෙන් 40%කි. 60% ක් වූ සාතිශය බහුතරයක් දරුවන් වසර එක හමාරක් කාලයක් පුරාවට අධ්‍යාපනයෙන් පිටමංව ඇත. ඒ අනූව අධ්‍යාපනය ලැබීමට ඇති අනිවාර්ය අයිතිය බහුතර සිසු පිරිසකට වසර එක හමාරක් කාලයක් පුරාවට අහිමි කර ඇත. එවන් වටපිටාවක මෙරට දරුවන් අතරින්  සුලූ පිරිසකට පමණක් මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපන අවස්ථාව ලැබීම නිසා නිසා ඇතිවන අසමානයන් සේ සැලකුම් ලැබීමෙන් මිදීමට අවශ්‍ය සාර්ථක වැඩපිළිවෙළක් අප සමාජයක් ලෙස අත්හදා බැලිය යුතු වුවද එයට අමාත්‍යාංශය හෝ රජය තවමත් අසමත්ව ඇත. බාහිර යෝජනා ද නොසලකා ඇත. එම කරුණු සළකා අප සංගමයක් ලෙස හා සමාජයක් ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වන ඔබගෙන් විමසිය යුතු මූලික ප‍්‍රශ්න කිහිපයක් ඇත.

1. මෙරට සිසු ජන ගහණයෙන් 60%කට අධික ප‍්‍රමාණයක් වසර එක හමාරක් තිස්සේ අධ්‍යාපනයෙන් පිටමං කරඇති බව ඔබ දන්නවාද?

2. දබකසබැ අධ්‍යාපනය හරහා සිසුන්හට සෞඛ්‍යමය වශයෙන්, ශාරිරික වශයෙන් හා මානසික වශයෙන් ඇතිවන සංකූලතා පිළිබඳ ඔබගේ අවධානය යොමුව තිබේ ද?

3. තාක්ෂණික උපාංග භාවිතයෙන් සිසුන්හට සිදුවන අපයෝජන පිළිබඳව ඔබගේ නිරීක්ෂණ මොනවාද? ඒ සඳහා ඔබ ගෙන ඇති ක‍්‍රියාමාර්ග මොනවාද? එම ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණවත් ද?

ඉහත මූලික කාරණා පිළිබඳව ඒකාබද්ධ ගුරු සේවා සංගමය පෙර අවස්ථාවකදී (2021/08/01 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමග පැවති සාකච්ඡාවේදී) ඔබගේ අවධානය යොමුකර ඇති බව ද දන්වා සිටිමු. 2021/08/01 දින ”නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය” සංවිධානය කල ”ඉෂාලිනි” දැරියට හා මෙරට දරු පරපුරට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය අවධානය යොමුකිරීම සඳහා ඔබ සමඟ කළ සාකච්ඡාවට ඒකාබද්ධ ගුරු සේවා සංගමය ද සම්බන්ධ වූ අතර එහිදී අප විසින් නිශ්චිත ලෙස මෙම ප‍්‍රශ්න 3 හා තවත් කරුණු කිහිපයක් පිළිබඳ ඔබේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටි අතර, ඔබ ආයතනය නියෝජනය කළ නිලධාරින් එය පිටපත් කරගත් බවත් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව වූ ඉතා වැදගත් යෝජනා කිහිපයක් ද එහි දි අනෙකුත් සංවිධාන සමඟ සාකච්ඡා කළ බව ද ඔබට මතක් කර සිටිමු.

දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීමට අදාළව කරුණු විමසීම හා බලපෑම් කිරීම කළයුත්තේ ස්වේච්ඡාවෙන් අධ්‍යාපන ක‍්‍රියාවලියට සම්බන්ධ වූ ගුරු විදුහල්පතිවරුන්ගෙන්  නොව අදාළ බලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රමුඛ රජයේ පාර්ශවයෙන් බව ද අවධාරණය කර සිටිමු.

මෙරට දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් වූ සාධනීය ප‍්‍රවේශයකට අප ගුරු සංගමය මෙන් ම අනෙකුත් ගුරු හා විදුහල්පති සංගම් විසින් තම මැදිහත්වීම  ඕනෑම මොහොතක ලබා දෙන බව ද, ජාතික ළමා හා ආරක්ෂක අධිකාරියේ මැදිහත්වීම පැමිණිලිවලට පමණක් සීමා නොකර පුළුල් ප‍්‍රවේශයකින් සිදු කරන ලෙස ද ඉල්ලා සිටිමු.

”අනාගතයේ අයිතිකරුවන් දරුවන් ය. ඔවුන්ට යහපත් ලෝකයක් ඉතිරි කරමු”

ජාතික ළමා හා ආරක්ෂක අධිකාරිය විසින් එවා ඇති ලිපිය

child protection letter

<u