නිවසේ සිට ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්

නිවසේ සිට ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්

තැපැල් මාර්ගයෙන් සායනික රෝගීන් සඳහා යොමු කෙරෙන ඖෂධ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් (24) දින හඳුන්වා දෙනු ලැබිණි. .

S.L.T. Mobitel ආයතනය හා එක්ව ඖෂධවේදීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙල හඳුන්වාදෙනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම වැඩපිළිවෙල හඳුන්වා දීමට පියවර ගැනිණි.

මෙමගින් එම රෝගීන්ට සිය ඖෂධ පිළිබඳව අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබාගත හැක.

ඒ සඳහා 0716222555 යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර , එමගින් දිවයින පුරා විසිරී සිටින ඖෂධවේදීන් එකසිය විස්සක් සම්බන්ධ කරගනිමින් මෙම ජාලය ඔස්සේ රෝගියාට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. මෙම සියලු ඖෂධවේදීන් ස්වේච්ඡාවෙන් අදාළ වැඩපිළිවෙලට එක්ව ඇති අතර ඔවුනට අවශ්‍ය දැනුම සහ ආකල්පමය කුසලතා සංවර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ පුහුණුවක් ද ලබාදීමට පියවර ගෙන ඇත. එය රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විශේෂ කමිටුවක් මගින් අධීක්ෂණයට ලක් කෙරේ. S.L.T. Mobitel ආයතනය මගින් මේ සදහා පූර්ණ තාක්ෂණ අනුග්‍රහයන් ලබා දෙයි.

2021 ලෝක ඖෂධවේදීන්ගේ දිනයට සමගාමීව "ඔබේ ඖෂධවේදී සේවාව" National Pharmacy Helpline (N.PH.) නමින් මෙය ආරම්භ කෙරෙිණි.

මෙම වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ මෙය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා.......

කොවිඩ් පළමු රැල්ල පැමිණි මොහොතේදී පවුල් ලක්ෂ දාහතකට තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඖෂධ පැකට් නිවෙස් කරාම ලබා දීමට හැකි විණි.ඒ මොහොතේ මා එහි විෂය භාර අමාත්‍යවරයාය.මෙම වැඩපිළිවෙල නිසා ඈත ප්‍රදේශවල ජනතාවට විශාල සහනයක් ලැබිණ.අද ක්‍රියාවට නැංවුණු නව වැඩපිළිවෙල නිසාවෙන් රෝගීන්ට නිවෙස් කරා ඖෂධ යෑම පමණක් නොව ඔවුනට අවශ්‍ය තොරතුරු ලබා දීමටද හැකි වේ

සෞඛ්‍ය සේවාවේ සැවොම ජීවිත පරදුවට තබා රටත් රටේ ජනතාවත් වෙනුවෙන් මේ මොහොතේ උපරිම කැපවීමෙන් කටයුතු කරනවා.මේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඖෂධවේදීන් ලබාදෙන දායකත්වය ඉතා වැදගත් වේ.බොහෝවිට අපි කවුරුත් වැඩ කර බැනුම් අහනවා.ඒත් වැඩ නොකර බැනුම් අහන්නත් පුළුවන් අපි පුරුදු වෙලා ඉන්නවා වගේම තීන්දු කරලා තියෙනවා වැඩ කරලා බැනුම් අහන්න.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, S.L.T. Mobitel ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු , රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.