මාධ්‍යවේදීන් දඩයම් කර දූෂිතයන් ආරක්ෂා කිරීම නිර්ලජ්ජිතයි

මාධ්‍යවේදීන් දඩයම් කර දූෂිතයන් ආරක්ෂා කිරීම නිර්ලජ්ජිතයි

මාධ්‍යවේදීන් දඩයම් කර දූෂිතයන් ආරක්ෂා කිරීමේ නිර්ලජ්ජිත උත්සාහය” හෙළා දකිබ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය දෙමළ මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ, එහි හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළි කළ සතොස ආයතනයේ සිදු වී ඇති, සුදු ලූනු වංචාව සහ වෙනත් දූෂණ වාර්තා කළ ලංකාදීප, දිවයින  හා දි අයිලන්ඩ් පුවත්පත් හි  මාධ්‍යවේදීන්, පරීක්ෂණයක් සඳහා බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම දැඩිසේ හෙළා දකින මාධ්‍ය සංවිධාන එකතුව, මෙය දූෂිතයන් ආරක්ෂා කිරීමට ද, දූෂණ හෙළිදරව් කිරීම වැළැක්වීමට ද දරන ලද නිර්ලජ්ජිත උත්සාහයක් බව පවසයි.

හෙළිදරව් කරන ලද දූෂණ පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම වෙනුවට අමාත්‍ය  බන්දුල ගුණවර්ධනගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ පොලීසිය ඔහුට සිදුව ඇතැයි කියන අපහාසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මාධ්‍යවේදීන් කැඳවන්නේ 2002 වසරේදී සාපරාධී අපහාස නීතිය අහෝසි කර ඇති පසුබිමකය. එබැවින් නෛතික පදනමක් නොමැතිව වුවත් දේශපාලන වුවමනාව ඉටු කිරීම සඳහා පොලීසිය යොදා ගෙන මාධ්‍යවේදීන් බිය ගැන්වීමේ ප්‍රවණතාවක් මතු වෙමින් තිබෙන බව මාධ්‍ය සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

අදාල සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොකැඳවන ලෙසට අගමැතිවරයා දුන් උපදෙස් අනුව, නිලධාරීන් පිරිසක් ලංකාදීප කාර්යාලයට පැමිණ ඇත. ඒ, ජාත්‍යන්තර තොරතුරු දිනය යෙදුණු සැප්තැම්බර් 28 දාය. ඔවුන් වෙත තොරතුරු ලබා දීම ලංකාදීප කතුවරයා ප්‍රතික්ෂේප කර තිබු නමුත් වංචා හා දූෂණ හෙළිදරව් කරන ලද අවස්ථාවක දේශපාලන වුවමනාවන් මත  මාධ්‍යවේදීන් දඩයමට පොලීසිය මෙහෙයවීම බරපතල වරදකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවද, එවැනි ප්‍රකාශයකින් සෑහීමකට පත් විය නොහැකි බව මාධ්‍ය සංවිධාන එකතුව පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුරපල්ලන් සේම සිව්වැනි ආණ්ඩුව ලෙස ක්‍රියාත්මක වන ජනමාධ්‍යයේ වගකීම වංචා හා දූෂණ හෙළිදරව් කිරීමයි. එවැනි අවස්ථාවක මාධ්‍ය හෙළි කිරීම්වලට අදාල පරීක්ෂණ සිදු කොට නීතිය ක්‍රියාත්මක නොකර මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හා දඩයමට උත්සාහ දැරීම අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමෙන් එහා ගොස් දූෂිතයන්ට රැකවරණ සැළසීමේ හා දූෂණ වංචා නොතකා හැරීමේ ක්‍රියාවලියක් දක්වා වර්ධනය විය හැකි බව මාධ්‍ය සංවිධාන එකතුවේ අදහසයි.

එබැවින් දේශපාලන වුවමනාවන් මත සිදු වන මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින මාධ්‍ය සංවිධාන එකතුව, ගැහැටට ලක් වූ මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් එක්ව පෙළ ගැසෙන බවට ද වංචා හා දූෂණ පිළිබඳ සැබෑ තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කරන බවට ද ප්‍රතිඥා දෙයි.