රාජ්‍ය නායකයා ලෙස වහා මැදිහත්වී ගුරු ප්‍රශ්ණයට විසඳුම් ලබාදෙන්න

රාජ්‍ය නායකයා ලෙස වහා මැදිහත්වී ගුරු ප්‍රශ්ණයට විසඳුම් ලබාදෙන්න

මර්දනකාරී වැඩපිළිවෙලවල් යෝජනාකර ක‍්‍රියාත්මක කරන නිළධාරීන් සහ ඔබගේ රජයේ ඇමතිවරුන් නිසා ප‍්‍රශ්ණය විසඳනවා වෙනුවට තවදුරටත් ප‍්‍රශ්ණය අවුල් කෙරෙන බවත්, මර්දනකාරී ක‍්‍රියා පිළිවෙතින් බැහැරවී ගුරුවරුන්ගේ වෘත්තීය ප‍්‍රශ්ණයට නිසි විසඳුමක් ලබාදී රටේ මුළුමහත් දරු පරපුරේ අධ්‍යාපනය තහවුරු කරන්නට රාජ්‍ය නායකයා ලෙස ඔබ මැදිහත්විය යුතු බව ‘‘පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය’’ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ‘‘පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය’’ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, බැංකු හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන 21කින් සමන්විත සංවිධානයකි. ඉතිහාසය පුරා එම සංවිධාන සිය වෘත්තීය ප‍්‍රශ්නවලට අමතරව රටේ පොදු ගැටලූ හා නිරන්තර සම්බන්ධ වී කටයුතු කර ඇත. ඒ අනූව බරපතල ලෙස ජනතාවට බලපානු ලබන ප‍්‍රශ්ණ කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකොට ඒවාට වහාම විසඳුම් ලබාගැනීමේ අපේකෂාවෙන් මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනු ලබයි.

කොවිඩ් වසංගත තත්වයෙන් බරපතල ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව සමාජ ආර්ථික වශයෙන් බරපතල පීඩනයන් රාශියකට මුහුණ දෙමින් සිටී. රජයේ සමහර බලධාරීන් විසින් අනුගමනය කරනු ලබන යම්යම් ක‍්‍රියාමාර්ගයන් නිසා ජනතාව මුහුණදෙනු ලබන ජීවන තත්වයන් පමණක් නොව මානුෂික හා සමාජමය වශයෙන් ද බරපතල පීඩනයනට ජනතාව ගොදුරු වෙමින් සිටී.

දරුවන්ගේ අධ්‍යාපනය මුළුමණින්ම බිඳවැටීම වළක්වාලීම

කොවිඩ් වසන්ගතය නිසා පාසැල් විවෘත කිරීමට ඇති අපහසුතාවයන්ට එහා යමින් ගුරු විදුහල්පති වැටුප් විසමතාවයට පිළිතුරක් ලබාදෙන්නට රජය අපොහොසත්වීම රටේ දරුවන්ගේ අධ්‍යාපනය මුළුමණින්ම බිඳවැටීමට හේතුවී තිබේ. එහි වගකීම රජය දැරිය යුතුයැයි අපි විශ්වාස කරමු.

පාසැල් වසා දැමීම නිසා බිඳවැටෙන දරුවන්ගේ අධ්‍යාපනය වෙනවෙන් ගුරු-විදුහල්පතිවරු ස්වෙච්ඡාවෙන් හඳුන්වාදුන් මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය ද අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගේ අදූරදර්ශී හා ක‍්‍රියාවන් හා ගුරු සටන විසඳීම වෙනුවට මර්ධනය කරන්නට ප‍්‍රවේශවීම නිසා අතර මැද අතහිටුවා වැඩවර්ජන තත්ත්වයක් දක්වා ඔවුන් යොමු කිරීමට හේතුවූ බව අප සංවිධානයේ අදහස වේ.

දැනට දින අසූවකට අධික කාලයක් ගතවී ඇති ප‍්‍රශ්ණයට විසඳුම ගුරු සංවිධාන නායකයන් අත්අඩංගුවට ගැනීම හෝ සමස්ථ ගුරුවරුන් පීඩාවට පත්කිරීම නොවන බව වගකීමකින් මෙහි සටහන් කරමු.

මේ අතර ගුරුවරු සහ ඔවුන්ගේ වෘත්තීය නායකයන් පීඩාවට පත්කිරීමේ ආසන්න ක‍්‍රියාව වී ඇත්තේ දැනට මාස එකහමාරකට පෙර වෘත්තීය විරෝධතා ක‍්‍රියාවක් ලෙස පැවැත්වූ රථ පෙළපාලියකට සම්බන්ධ වූ වාහන හිමිකරුවන් පවා කොළඹ කොටුව පොලීසිය වෙත කැඳවීමයි.

මෙවැනි මර්දනකාරී වැඩපිළිවෙලවල් යෝජනාකර ක‍්‍රියාත්මක කරන නිළධාරීන් සහ ඔබගේ රජයේ ඇමතිවරුන් නිසා ප‍්‍රශ්ණය විසඳනවා වෙනුවට තවදුරටත් ප‍්‍රශ්ණය අවුල් කෙරෙන බව අපගේ මතයයි. මර්දනකාරී ක‍්‍රියා පිළිවෙතින් බැහැරවී ගුරුවරුන්ගේ වෘත්තීය ප‍්‍රශ්ණයට නිසි විසඳුමක් ලබාදී රටේ මුළුමහත් දරු පරපුරේ අධ්‍යාපනය තහවුරු කරන්නට රාජ්‍ය නායකයා ලෙස ඔබ මැදිහත්විය යුතු බව ‘‘පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය’’ අපේක්ෂා කරනු ලබයි.

කොතලාවල විශ්ව විද්‍යාල පනත

ඔබතුමාගේ රජය විසින් හඳුන්වා දී සම්මත කරගන්නට උත්සාහ කරනු ලබන කොතලාවල විශ්ව විද්‍යාල පනත නිසා ද රටේ උසස් අධ්‍යාපන සංස්ථාවන් මුළුමණින් ම බිඳවැටීම පැහැදිළි සත්‍යයකි.

විශ්ව විද්‍යාල සිසුන්ල ආචාර්ය මණ්ඩලයල අනධ්‍යන සේවකයන් පමණක් නොව රටේ බහුතර වෘත්තීය සමිති සහ වෘත්තිකයන් හැම දෙනෙක් ම පාහේ මෙම පනතට එරෙහිව තදින් ම විරෝධය දක්වන බව රහසක් නොවේ.

මින් පෙර අවස්ථාවන්හිදී ද නිදහස් අධ්‍යාපනය හරස් කිරීමේ අරමුණින් පිහිිටුවීමට උත්සාහ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සයිටම් වෛද්‍ය විද්‍යාලය පරාජය කළ බව ආසන්න අත්දැකීම් ලෙස සිහිපත් කරන අප සංවිධානය මෙම බරපතල ජනතා විරෝධය පිළිගනිමින් කොතලාවල විශ්වවිද්‍යාල පනත අත්හිටුවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, ආරක්‍ෂක අංශ සඳහා පමණක් එවැනි විශ්ව විද්‍යාල ඇති කිරීමට අප විරුද්ධ නොවෙමු.

කොතලාවල පනතට එරෙහිව පසුගිය අගොස්තු 03 වෙනි දින සංවිධානය කළ උද්ඝෝෂණ ක‍්‍රියා මාර්ගයකට කිසිසේත් ම සාධරණීය නොවන මර්දන ක‍්‍රියා මාර්ගයන් තෝරා ගනිමින් එහි නායකයන් හා ක‍්‍රියාකාරීන් අත් අඩංගුවේ රඳවා දින හැටක් ඉක්මවා ගොස් තිබේ. මෙය මෙරට ව්‍යවස්ථාවට පටහැනි මානුෂික අයිතීන් උල්ලංඝණය කරනවා පමණක් නොව, අධිකරණයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්කිරීමකි. විශේෂයෙන් පොලීසිය අසාධාරණ චෝදනා ගොනු කරමින් ඔවුනට ඇප ලබා ගැනීමට හෝ අවස්ථාවක් නොදී මැදිහත්වීම් සිදුකරමින් සිටින අතර විශේෂයෙන් තරුණ නායක නායිකාවන් බොහෝ දෙනෙකුට බන්ධනාගාරය තුළදී කොවිඩි ආසාදනය වී ජීවිත අනතුරට පවා ලක්වෙමින් සිටී.

තවදුරටත් මේ අවස්ථාවට සම්බන්ධවූ වෘත්තීය සමිති නායකයන් හඹායමින් සිටින පොලීසිය අප සංවිධානයේ ප‍්‍රධාන සාමාජික සංවිධානයක් වූ ලංකා වතුසේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා කරමින් සිටී.

කිසිදු රජයකයට මර්දනය තුළින් තම රජයේ යහපැවත්ම පවත්වාගෙන යාමට නොහැකි වූ බව ඉතිහාසගත අත්දැකීම් සිහිපත් කරන අතර කොතලාවල පනත සම්බන්ධයෙන් වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට රිමාන්ඩ බන්ධනාගාර ගතකොට සිටින සියළු දෙනා නිදහස් කරන ලෙසත්, අත්අඩංගුවට ගැනීම සඳහා කරනු ලබන ලූහුබැඳීමේ හා නිවැසියන්ට බලපෑම් කිරීම් නතර කරන ලෙසත් ඉල්ලමු. ගුරු - විදුහල්පති වැටුප් අරගලයට සාධාරණ විසඳුමක් ලබාදී අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය යළි පණ පිහිටුවන්නට මැදිහත්වෙන ලෙස ‘‘පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය’’ ඔබගෙන් බලකර ඉල්ලා සිටී.

පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයට අයත් පහත වෘත්තීය සමිති විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇත.

ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා වතු සේවා සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය, ස්වාධීන තටාක සේවක සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය, එක්සත් පොදු සේවක සංගමය, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය, කාන්තා කම්කරු සහයෝගිතා සංගමය, වාණිජ හා කාර්මික සේවක සංගමය, රක්‍ෂණ සේවක සංගමය, සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමය, ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ප්‍රොටෙක්ට් සංගමය