කොවැක්ස් පහසුකම යටතේ මෙරටට තවත් ෆයිසර් එන්නත් ලක්ෂ හතරක පරිත්‍යාගයක්

us-grant

කොවැක්ස් පහසුකම හරහා ඇමරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් (01) දින පස්වරුවේ මෙරටට ලැබිණි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මෙම පරිත්‍යාගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී (01) දින භාර ගනු ලැබීය.

කොවැක්ස් පහසුකම යටතේ මේ වනවිට මෙරටට ඇමරිකන් රජය මගින් ෆයිසර් එන්නත් ලක්ෂ නවයක පමණ ප්‍රමාණයක් ලබා දී ඇත.

මේ වන විට එම පහසුකම් යටතේ ෆයිසර්, මොඩාර්නා හා ඇස්ට්‍රාසෙනිකා යන එන්නත් ලක්ෂ 42 ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත.

මෙම පරිත්‍යාගය බාර ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.

කොවැක්ස් පහසුකම යටතේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන තවත් එන්නත් කාණ්ඩයක් අද ලැබිණි. පෙරේදා තවත් ලක්ෂ හතරක එන්නත් තොගයක් මෙරටට හිමිවිය. අපි විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, ඇමරිකානු රජයටත් එම තානාපතිතුමියටත් ජාත්‍යන්තරයේ අපට ලබාදුන් මෙම පරිත්‍යාගය පිළිබදව ස්තුතීවන්ත වෙනවා.

මේ වන විට මෙරට එන්නත්කරණය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. අපි අද සාර්ථකව එන්නත්කරණය සිදු කරන පළමු රටවල් දහය අතරට ඇතුළත්ව තිබෙනවා. මේ වන විට 55% කට එහා සමස්ත ජනතාවගෙනුත් අවුරුදු 30ට වැඩි ජනතාවගෙන් 100 % ට වාගේ එන්නත් ලබා දී තිබෙනවා. අවුරුදු 20-30 අතර සියයට 50 % කට ආසන්න පිරිසකට පළමු එන්නතද දෙවැන්න 18% ක ප්‍රමාණයකටද ලබාදී තිබෙනවා. එන්නත්කරණය වෙනුවෙන් ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එයට ලබාදුන් ලොකුම සහයෝගය කොවැක්ස් පහසුකම යටතේ අපට ලැබිලා තිබෙනවා.

ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ඇමරිකානු තානාපති ඇලීනා ටෙප්ලිට්ස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත අලාකා සිං, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක‍්‍රිස්ටියන් ස්කෝග් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග යන මහත්ම මහත්මීන්ද මේ සඳහා එක්ව සිටියහ.