‘යළි පාසැල් යන දරුවාට අධ්‍යාපනය සේම ආදරයත් අවශ්‍යයි‘ – විශේෂඥයෝ පවසති

school-reopen

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා වසා තිබුණු පාසල් නැවත ආරම්භ වීමෙන් පසු දරුවන් වඩාත් අධිෂ්ඨානශීලී සහ ශක්තිමත් ආකල්ප වලින් බලගැන්වීමේ දිශාවට අධ්‍යාපනය යොමු විය යුතු බව මහනුවර, ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය අතුල සුමතිපාල මහතා ප්‍රකාශ කළේය. මෙම තත්වය ඇති කිරීම ගුරුවරුන්, දෙමාපියන් සේම මාධ්‍ය ඇතුලු සමස්ත සමාජයේම වගකීමක් බව ඔහු පෙන්වා දෙයි.

මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේ  “කොවිඩ් වසංගතය, දරු පරපුර සහ දරුවන්ගේ අධ්‍යාපනය” මාතෘකාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. ප්‍රවෘත්ති සාකච්ඡාව (29)දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ කොවිඩ් 19 වසංගතය සමග දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම මානසික මට්ටමද යම් පසුගාමී තත්වයකට පත්වීමේ අවදානමක් මතු වී ඇති බැවින් එය ජයගැනීමට සියලු පාර්ශ්ව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. දරුවන් නැවත පාසල වෙත පැමිණි පසු වඩාත් ආදරයෙන් හා ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට ගුරුවරුන්ගේ අවධානය යොමු විය යුතුය. මෙම කාලයේදී දෙමාපියන්ද තම දරුවන් සම්බන්ධව ඉතාම ඉවසීමකින් හා වැටහීමකින් ක්‍රියා කළ යුතු වේ. ජනමාධ්‍ය ආයතනද දරුවන්ගේ මානසික මට්මට වඩා යහපත් තත්ත්වයෙන් පවත්වා ගැනීමට අනුබල දෙන වැඩසටහන් ප්‍රචාරණය වැදගත් වේ. මේ සඳහා කොවිඩ් 19 වසංගත තත්වය තුළ පවා රටතුළ මතු වූ ධනාත්මක සිද්ධීන් වැඩියෙන් වාර්තා කිරීම සුදුසුය. නිවෙස් තුළට සීමා වී සිටින දරුවන්ට සතුට හා නිසි අවබෝධය ලබා දෙන පණිවිඩ සන්නිවේදනය මාධ්‍යයේ වගකීමකි.

ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන්මාලි සුමනසේන මහත්මිය ප්‍රකාශ කළේ අධ්‍යාපනය යනු පාසල් පරිශ්‍රය තුළ සිදුකරන ඉගැන්වීමට ලඝු නොවන පුළුල් විෂයයක් බව වටහා ගත යුතු බවයි. අධ්‍යාපනය යනු දරුවකු මව් කුසයේ සිටින අවධියේ සිටම දරුවකු උකහා ගන්නා දෙයකි. මේ නිසා පාසලින් පමණක් නොව සමස්ත පරිසරයෙන්ම දරුවන් ඉගෙන ගන්නා බවත් එය ඔවුන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහිද බලපාන බවත් මහාචාර්යවරිය ප්‍රකාශ කළාය. කොවිඩ් 19 වසංගතය නිසා වඩාත් බලපෑමට ලක් වනුයේ අඩු පහසුකම් සහිත පවුල්පල හා ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන දරුවන්ය. ඇතැම් දරුවන්ට නිවසේදී මතු වන ගැටලු හා දුෂ්කරතාවන්ට සහනශීලී පරිසරයක් ලබාදෙන ස්ථානය වන්නේ පාසලයි. පාසල් වසා ඇති තත්වය තුළ එවැනි දරුවන්ට තවදුරටත් අසහනශීලී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. මෙවැනි වාතාවරණයකදී දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය මෙන්ම මානසික සෞඛ්‍යය කෙරෙහිද සමාජය ඉතා පුළුල් අවධානයක් යොමු කළ යුතු වන්නේ ඒ නිසාය.

ළමා හා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය ආසිරි හේවාමාලගේ මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් කොවිඩ් 19 වසංගතය සමයේ වුවද ලංකාවේ දරුවන් විවිධ ක්‍රමවේද ඔස්සේ සිය අධ්‍යාපන කටයුතු වල අඛණ්ඩව නිරත වූ බව පැවසුවාය. මෙය දරුවන්ට නවතම අත්දැකීමක් වූ අතර මෙම තත්වය මෙතෙක් භාවිත නොකළ නව තාක්ෂණික ක්‍රමවේද හා ක්ෂේත්‍ර සමග මුහු වීමට දරුවන්ට ලැබුණු එක් අවස්ථාවක් ද විය.

21 වන ශතවර්ෂයේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව ජගත් පිළිගැනීම වන්නේ පොතපතේ දැනුම ඉක්මවූ පුළුල් හා නිර්මාණශීලී දැනුමක් දරුවන්ට ලබාදීමයි. තාක්ෂණික සාක්ෂරතාව, මාධ්‍ය සාක්ෂරතාව, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය තුළ සහකම්පනය හඳුනා ගැනීම අධ්‍යාපනය විසින් දරුවාට ලබාදිය යුතු කුසලතා වේ. ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයද මෙම පුළුල් ඉලක්ක කරා යොමු වීම අත්‍යවශ්‍ය සාධකයකි. වත්මන් වාතාවරණය තුළ දරුවන්ගේ කණ්ඩායම් හැඟීම් හා සමාජය සමග මුසුවීම අඩුවී ඇත. මේ නිසා නැවත පාසැල් ආරම්භ කළ පසු යම් කෙටි කාලයක් තුළ විෂයානුබද්ධ දැනුම ලබාදීම මුල්තැන දෙනවාට වඩා මෙවැනි කුසලතා වැඩිදියුණු කරමින් දරුවන්ගේ මානසික මට්ටම නගා සිටුවීමට ප්‍රමුඛත්වය ලබාදීම වඩා සුදුසු බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය. මේ සඳහා කැපවීමෙන් වැඩ කිරීම ගුරු දෙගුරු දෙපාර්ශවයේම වගකීම වේ.