කොවිඩ් මර්දන විශේෂ කමිටුවෙන් ‘සියලු පාර්ශ්වවලට‘ විශේෂ ඉල්ලීමක්

කොවිඩ් මර්දන විශේෂ කමිටුවෙන් ‘සියලු පාර්ශ්වවලට‘ විශේෂ ඉල්ලීමක්

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජන ඒකරාශි වීම් සිදු වේ. ඒ සමග කොවිඩ් වසංගතය පැතිරී යාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරති.

(01) දින පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ඔවුහු මේ බව සඳහන් කළහ.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවයට කැඳවීමේ දී හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, අදාළ චක්‍රලේඛයන්ට අනුව පවත්වාගෙන යා යුතුය. අදාළ චක්‍රලේඛ මේ වන විටත් අමාත්‍යාංශ වෙබ් අඩවි මගින් පළ කර තිබේ. තවද මගී අවශ්‍යතාව මත බස්රථ සහ දුම්රිය ප්‍රමාණවත් පරිදි ධාවනයට එක්කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

වයස අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහණයෙන් 95%කට ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබේ. අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදුකෙරෙමින් පවතී. එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකිරීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කළේය.

සංචාරක සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. වසංගත තත්ත්වය පාලනය කර, ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස්, මාධ්‍ය මගින් ජනතාව වෙත අඛණ්ඩව ලබාදීමට තීරණය විය