ජීඑස්පී ප්ලස් වෙනුවෙන් වෘත්තීය සංගම් එකතුවෙන්නේ ඇයි?

ජීඑස්පී ප්ලස් වෙනුවෙන් වෘත්තීය සංගම් එකතුවෙන්නේ ඇයි?
ශ්‍රී  ලංකාවට යුරෝපා සංගම් වෙළඳපොළට ඇති වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (Generalised Scheme of Preferences - ජීඑස්පී ප්ලස්) පිළිබඳ නැවතත් යම් සංවාදයක් මතුවී තිබේ. ජීඑස්පී ප්ලස් පිළිබඳ සලකා බැලීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් මේ දිනවල මෙරට සංචාරය කරමින් සිටින අතර මෙවර තාවකාලිකව හෝ එකී සහනය අහිමිවීමේ තර්ජනයක් ගැනද ඇතැමුන් සැකපළ කරයි. කෙසේ වුවද මේ පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නැත. 
 
යුරෝපා සංගමයේ විධායක මණ්ඩලය වන යුරෝපා කොමිසම, ජීඑස්පී ප්ලස් හරහා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට යුරෝපා සංගමයේ වෙළෙඳපොළ වෙත ලබාදී ඇති වරණීය ප්‍රවේශය තාවකාලිකව ඉවත් කර ගැනීම ගැන සලකා බැලිය යුතුයැයි යෝජනා කර ඇත. 
 
මෙය සිදුවන්නේ, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධික ලෙස උපයෝගී කර ගැනීම සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවට එන යෝජනාවක් බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමෙනි.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතීන් තුනක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ සැලකිය යුතු අඩුපාඩු හේතුවෙන් 2010 දී ශ්‍රී ලංකාව සඳහා වන ජීඑස්පී ප්ලස් වරණීය තීරු බදු තත්ත්වය ඉවත් කෙරුණු බවද සිහිපත් කළ යුතුය. එහෙත් 2015 වසරේ පත්වූ යහපාලන රජයේ මැදිහත්වීමෙන්, 2017 මැයි 19 දින වන විට ශ්‍රී ලංකාව ජීඑස්පී ප්ලස් වරණීය තීරු බදු සහන තත්ත්වය නැවතත් ලබාගන්නා ලදී. 
 
පවත්නා ජීඑස්පී ප්ලස් පහසුකම මඟින් ඇඟලුම්, ධීවර, පිඟන් මැටි සහ රබර් ඇතුළු ශ්‍රී ලංකා අපනයන සඳහා යුරෝපා වෙළෙඳපොළ සඳහා වෙළෙඳ ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කර එම වෙළෙඳපොළේ ශ්‍රී ලකාවේ භාණ්ඩ සඳහා ඇති මිල තරඟකාරීත්වය අඩුකර වරණීය පිවිසුමක් ලබාදී ඇත.මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 9 ක් මෙම ජීඑස්පී ප්ලස් සහනයන් හි ප්‍රතිලාභ ලබයි. සීමිත අපනයන හේතුවෙන් සහ නිමි භාණ්ඩ සඳහා ආනයනික අමුද්‍රව්‍ය සැලකිය යුතු ලෙස භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට එම ජීඑස්පී ප්ලස් පහසුකමෙන් 50-58% ක් පමණක් භාවිත කරයි. එහෙත් පාකිස්තානය 96% ක් ද පිලිපීනය 73% ක් ද වශයෙන් එම සහනය භාවිත කරන බවද මෙහිලා අපගේ අවධානයට ලක්විය යුතුය.
 
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විස්තර කර ඇති පරිදි, බරපතළ  මානව හිමිකම් උල්ලංඝණය නැවත නැවතත් සිදුවීම තුළ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ භයානක පසුබෑම පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තුව සිය ගැඹුරු කනස්සල්ල පළ කර ඇත. මෙවන් පසුබිමක් තුළ මෙරට සංචාරයේ නිරත යුරෝපා සංගම් නියෝජිතයින්ට මෙරට ප්‍රමුඛ පෙළ වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
 
නිදහස් වෙළඳකලාප හා පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික වෙළෙඳ නාවිකයන්ගේ සංගමය, ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU), වානිජ හා කර්මාන්ත සේවක සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා වතු කාර්ය මණ්ඩල සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයින් විසින් ඒකාබද්ධව මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ. ලංකාව තුළ මේවන විට විවිධ ක්‍රියාමාර්ග තුළින් වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් මර්දනය කරනු පිණිස ගෙන යනු ලබන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නවතාලීම සඳහා යම් කොන්දේසි ඉදිරිපත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
 
'වැඩබිම' වෙනුවෙන් අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්,  ඒ පිළිබඳ පවසා සිටියේ මෙවැන්නකි.
 
"මේ මොහොතේ විවිධ මර්දනීය අණ පනත් හා ක්‍රියාමාර්ග තුළින් අපගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම්, වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටිනවා. වෘත්තීය සමිති ක්‍රියාධරයින්ගේ, මෙරට වැඩකරන ජනයාගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය කෙරෙන තැනට කටයුතු සිදුවෙනවා. මෙවැනි පසුබිමක වෘත්තීය සමිති කිහිපයක් ලෙස අප යුරෝපා සංගම් නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ මෙම මර්දන නීති අහෝසි කරන ලෙස හා රටේ ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මෙන්ම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුවට යම් බලපෑමක් කරන ලෙසයි."
 
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය.
 
"මේ අවස්ථාවේදී අපි වැඩකරන ජනයා ලෙස, වෘත්තීය සමිති ලෙස සාමූහිකව ක්‍රියා කළ යුතුයි. ලංකා ගුරු සංගමය විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට තම සංගමයේ ක්‍රියාකාරීන්ට සිදුවන අකටයුතුකම් පිළිබඳ පැමිණිල්ලක් කළා. එම පැමිණිල්ලට අපිත් සහයෝගය දක්වමින් අත්සන් කළා. මේ විදිහට මේ අවස්ථාවේ අපි ආණ්ඩුවේ මර්දන ක්‍රියා පිළිවෙළට එරෙහිව එකාවන්ව අරගල කරනවා"
 
ලංකා ගුරු සංගමය විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට සිදුකළ පැමිණිල්ල කුමක්ද? මේ පිළිබඳව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ගෙන් 'වැඩබිම' කළ විමසුමදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.
 
" දින ගණනාවක් තිස්සේ ගුරු - විදුහල්පති සංගම් විදිහට අප විසින් කරගෙන එන වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ බොහෝම නිර්ලජ්ජිත විදිහටයි. රාජ්‍ය අමාත්‍යවරුන් විසින් අප ත්‍රස්තවාදීන් හැටියට හැඳින්වූවා. කඩාකප්පල්කාරීන් හැටියට හැඳින්වූවා. විවිධ තර්ජන හා ගර්ජන සිදුකරමින්, අපහාසාත්මක කතා කියමින්, අභූත චෝදනා නඟමින් අපව තාඩන පීඩනවලට ලක්කළා. සැබෑ ප්‍රශ්නයට විසඳුම් නොදී කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින රට පිළිගත් වෘත්තීය සමිති නායකයින්ට මේ තරම් නින්දිත ලෙස සලකන්නේ නම් ජාත්‍යන්තරයට යාම හැර අපට වෙන විකල්පයක් තියෙනවද"
 
සැබවින්ම පාලකයින් විසින් කළ යුත්තේ තමන්ගේ පදයට නටන වන්දිභට්ට නිලධාරීන් හෝ ඇමතිලා ලවා වෘත්තීය සමිති නායකයින් බියගැන්වීම නොව වැඩකරන ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමය. එම වගකීම ඔවුන් පැහැර හරින්නේ නම් ලැබෙන අවස්ථාවෙන් ජාත්‍යන්තරය හෝ දැනුම්වත් කොට විසඳුම් අපේක්ෂා කිරීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. ජී.එස්.පී ප්ලස් සහනය වෙනුවෙන් කරුණු සොයාබලන යුරෝපා සංගම් නියෝජිතයින් හමුවට ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ ඇතුළත් කරුණු ගැනද කතා කිරීමට ලංකා ගුරු සංගම් නායකයා අමතක නොකළේය.
 
"අපි මෙහිදී ප්‍රධාන වශයෙන් කාරණා 6ක් ගැන අවධාරණය කළා. පළමුවැන්න නම් හදිසි නීති රෙගුලාසි ඉවත් කළ යුතුවීම. හදිසි නීතිය ගෙනාවෙ මේ මොහොතේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය හා භාණ්ඩ බෙදාහැරීමට පවත්නා බාධා ඉවත් කිරීමට බව පවසමින්. නමුත්  ඊට අදාළ ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් හකුළාගෙන තියෙන තත්ත්වයක හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන කම්කරුවන් මර්දනයට පමණයි. ඒ නිසා එම හදිසි නීතිය ඉවත් කිරීම සඳහා ආණ්ඩුවට බලපෑම් කළ යුතුයි.
 
දෙවැන්න නම් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට ගෙනා මාර්ගෝපදේශ හා නීතිමය විධිවිධාන භාවිතා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර ඇති හා  විවිධ ජාත්‍යන්තර සම්මුති විසින් පිළිගන්නා ලද භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය වීමයි. මෙම තත්ත්වය වහා වෙනස් කිරීමට ආණ්ඩුවට බල කළ යුතුයි.. 
 
පොලීසිය හා අපරාධ විමර්ශන ක්‍රියාවලිය යොදාගෙන විවිධ තර්ජන හා හිංසාකාරී ක්‍රියාවන් තුළින්  වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරමින් ඉන්නවා. ඒක වහාම නතර කළ යුතුයි.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්  පවා පෙන්වාදුන් පරිදි ලංකා ආණ්ඩුව, අධිකරණමය ක්‍රියාමාර්ග ඔස්සේ හිංසාවට ලක් කිරීම ( Judicial Harasment) දිගින් දිගටම සිදුකරමින් ඉන්නවා.  ප්‍රචණ්ඩ නොවන සාමකාමී වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය කිරීම පිණිස අධිකරණය භාවිතා කිරීම ඉතා භයානක තත්ත්වයක්. පසුගිය කාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන් රිමාන්ඩ් කිරීමට පවා ආණ්ඩුව කටයුතු කළා. ඒ නිසා නීතිය හා අධිකරණය අයුතු ලෙස යොදා ගැනීම වහා නතර විය යුතුයි.
 
 
රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මර්දනය සඳහා වෘත්තීය සමිති විරෝධී මෙන්ම  වෙනස්කොට සැලකීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීමට ක්‍රියා කළ යුතුයි. වෘත්තීය  අයිතිවාසිකම් වෙනුවෙන් සාමූහිකව කේවල් කිරීමේ අයිතිය ජාතියන්තර කම්කරු සම්මුතියේ නියමයන්ට අනුව වඩාත් සක්‍රීය කිරීම කළ යුතුයි.
 
අවසාන වශයෙන් ආණ්ඩුවේ මර්දන කාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී,  අකටයුතුකම් පිළිබඳ පැමිණිලි කිරීමට යුරෝපා සංගමයේ අධීක්ෂණයෙන් යුතු විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් සකස් විය යුතුයි. මෙන්න මේ ක්‍රියා මාර්ග සඳහා ආණ්ඩුවට යම් බලපෑමක් සිදුකරන ලෙස අපි යුරෝපා සංගම් නියෝජිතයින්ගෙන් ලිඛිතව ඉල්ලා සිටියා"
 
 
වෘත්තීය සමිති නියෝජතයින්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවනු ඇතිද? එසේ නොවී සුපුරුදු මර්දනයේ හා කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග ඉදිරියටත් දියත් වුවහොත් ජීඑස්පී සහනය, සිහිනයක් පමණක්ම වනු ඇතිද? තෝරාගන්නේ කුමන මාර්ගයදැයි තීරණය කළ යුත්තේ ආණ්ඩුවයි.
 
 
- පී.ඩබ් මුතුකුඩආරච්චි