නුවරඑළියේ පාලකයන් හා කම්කරුවන් ගැටී ගැටුමකින් දෙපිරිසටම තුවාල (VIDEO)

වතු සේවක මණ්ඩලයේ නිලධාරීන්ට පහරදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ වතු කම්කරුවන් නම දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලා වතුකරයේ විරෝධතාවක් පවත්වා තිබේ.  සැප්තැම්බර් 29 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නුවරඑළිය, තලවාකැලේ කට්ටුක්කලෙයි වතු යායේ කම්කරුවන් පිරිසකි.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි එම වතුයායේ දිනක් සේවයට වාර්තා නොකළ කම්කරු කාන්තාවකට නැවත සේවයට නොපැමිණෙන ලෙස සහකාර වතු කළමනාකරු විසින් දන්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් විමසීම සදහා සෙසු කම්කරුවන් සැප්තැම්බර් 28 වැනිදා සහකාර වතු කළමනාකරු සේවයේ නිරත කාර්යාලයට ගොස් තිබෙන අතර එහිදී ඇතිවු බහින්බස්වීමක් දුරදිගයෑමෙන් පසු වතු කම්කරුවන් වතු සේවක මණ්ඩලයේ සාමාජිකයන්ට පහර දී ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

පහරකෑමෙන් තුවල ලත් සහකාර වතු කළමනාකරු සහ වතු අධීක්ෂකවරයකු මෙන්ම වතු කම්කරුවන් දෙදෙනකුද නුවර එළිය රෝහලට ඇතුලත් කර තිබේ.

වතු සේවක මණ්ඩලයේ නිලධාරීන්ට පහරදුන් බවට චෝදනා ලබන කම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වතු සේවක මණ්ඩලය සැප්තැම්බර් 29 වැනිදා පෙරවරුවේ විරෝධතාවයක් දියත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් නම දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

එදිනම හවස වතු කම්කරුවන් ද විරෝධතාවයක් දියත් කරමින් බල කර තිබුනේ අත්අඩංගුවට ගෙන සිටින සිය සගයන් වහාම නිදහස් කරන ලෙසයි.

(ද ලීඩර්)