සෞඛ්‍ය පුරප්පාඩු පිරවීමට අවධානය

සෞඛ්‍ය පුරප්පාඩු පිරවීමට අවධානය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට පවතින අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් එහි පුරප්පාඩු පිරවීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

 ඒ සඳහා සාධනීය අවධානයක් යොමුව ඇතැයිද අමාත්‍යවරයා කීය.සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 22 ක නියෝජිතයන් සමඟ (07) දින එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී  අමාත්‍යවරයා මේ බව කීය.

 මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මුදල් අමාත්‍යාංශය ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බවත් එම සේවාවේ පවතින වටිනාකමට රජයද උපරිම වටිනාකමක් ලබා දී ඇතැයි අමාත්‍යවරයා කීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවක වැටුප් සඳහා රජය රුපියල් බිලියන 48 ක් ලබා දෙන විට එහි අතිකාල හා අනෙකුත් දීමනා සඳහා තවත් රුපියල් බිලියන 87 ක් වැය කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.සෞඛ්‍ය සේවකයන් සඳහා වන රුපියල් 7500 යේ දීමනාව ලබාදීම සඳහා මසකට රුපියල් මිලියන 490 ක් වැයවන බවත් එම සේවාවේ පිරිස් කොවිඩ් මර්දනය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීමකට ලක් කරමින් එම දීමනාව මාස 03 ක කාලයක් සඳහා ලබාදුන් බවත් අමාත්‍යවරයා පැවසීය.

හෙද හා පවුල් සෞඛ්‍ය සේවාවන් සඳහා ඇතුළුවීමට සුදුසුකම් සපුරන සෞඛ්‍ය සේවකයන්ගෙන් 5%  කට මෙයට පෙර තිබූ අවස්ථාව යළි සකස් කරන්නැයි වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කර ඉල්ලීමට පිළිතුරු දෙමින් හෙතෙම සඳහන් කළේ ඒ සඳහා සෞඛ්‍ය සේවාවේ අන්තර් වෘත්තීය සමිති විරුද්ධ නොවන්නේ නම් තමන්ටද ඒ පිළිබඳව අවධානය යොමු කළ හැකි බවයි.

සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සෑම තරාතිරකම පිරිස් කොවිඩ් ව්‍යසනය පාලනය කිරීම උදෙසා උපරිම දායකත්වයක් ලබා දෙන බවත් ඒ සෑම ක්ෂේත්‍රයකම පිරිස් එකට එක් වීම තුළින් පමණක් මෙවැනි සාර්ථකත්වයක් ලබාගතහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන යූ.එල්.පීරිස් , එම්. අත්තනායක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්.ලොකුගමගේ යන මහත්ම මහත්මීන් සහභාගි විය.