ගුරු-විදුහල්පති සටන අඛණ්ඩයි!

ගුරු-විදුහල්පති සටන අඛණ්ඩයි!
වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් ආරම්භ කළ ගුරු - විදුහල්පති සන්ධානයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් පවසයි.
 
අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද කියා සිටියේය.
 
"පැහැදිලිව ම අපි තීරණයක් අරන් තියෙන්නේ, ගුරු සහ විදුලහල්පති සන්ධානය හැටියට අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි ඉදිරියට අරන් යනවා. 21 වෙනකොට අපි ඉල්ලන ඉල්ලීම දුන්නේ නැත්නම්, 21 පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා ගුරු විදුහල්පති සන්ධානය යනවා ද? නැද්ද? කියන එක. "
 
මෙහිදී ඔන්ලයින් හරහා වත් ඉගැන්වීම් කටයුතු සිදුකරන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසූ පැනයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය. 
 
"නෑ අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට කරන් යනවා. අපි දැන් දින 94ක් අදට. මේ ඔන්ලයින් ක්‍රියාවලිය මීට කලින් විසඳාගන්න තිබුණා, මේ සාකච්ඡා කලින් කරලා තිබුණා නම්. අනුකාරක සභාවේ යෝජනාව කැබිනට් මණ්ඩලය සම්මත කළේ අගෝස්තු 30. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ කොච්චර කාලෙකට පස්සේ ද? අපි දිගින් දිගටම සාකච්ඡාවක් ඉල්ලුවා. සාකච්ඡාවක් ලබාදීම ප්‍රමාදවීම තුළ තමයි මේක ඉස්සරහට ගියේ."
 
ඊයේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡවේදී ආණ්ඩුව පාර්ශවයෙන් එකඟතාව පිළිබඳවද ඔහු සිහිපත් කළේය.
 
"අවසානයේ දී තීරණය කළේ අදියර දෙකකින් ලබාදෙන්න. එකක් තුනෙන් එකක කොටසක්. දෙවැනි අදියරේ දී ඉතිරි කොටස් දෙක. මේ සම්බන්ධයෙන් සියලු ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකතුවෙලා කතා කරලා අවසාන තීන්දුවක් ලබාදෙන්න අපි තීන්දු කරලා තියෙන්නේ. මොකද අපි දැනට අරගලය නවත්වන් තීරණය කරලා නෑ. අද දවසේ අපේ තීරණය ගැන අවසන් තීරණයක් ගන්නවා."
 
අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව පැය 3කට අධික කාලයක් පැවති අතර අග්‍රාමාත්‍යවරයා විසින් ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණි.
 
අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප, පළමු අදියර යටතේ  2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය තුළින් ද ලබාදීමට අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබේ.
 
 
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 93කි.  එය අද දිනයේ බොහෝවිට නිමාවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළහ. මෙය වැටුප් පිළිබඳ පමණක් ප්‍රශ්නයක්ද නොවේ. ගුරු සේවය, සංවෘත සේවයක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලීමද මෙයට ඇතුළත්ය. ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයටපත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බැව් ආණ්ඩුව පාර්ශවයෙන් පවසා තිබිණි.
 
මෙම ප්‍රශ්නය මුළුමනින්ම විසඳීමට භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව පැවසුවද, එය පිළිගත හැකි නොවන්නේ ඇවිදින මං තීරු සෑදීමට, සුඛෝප භෝගී වාහන ගෙන්වීමට, මන්ත්‍රී නිල නිවාස සෑදීමට ආදී වශයෙන් මේ මොහොතේ ප්‍රමුඛතාව නොදිය යුතු ක්‌ෂේත්‍රවල වියදම් අඛණ්ඩව සිදුවන බැවිනි. මේ පිළිබඳව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ, කැඳවුම්කරු, පූජ්‍ය උලපනේ සුමංගල හිමිද පෙන්වාදෙයි.
 
"මුදල් නෑ කියන එක අපි පිළිගන්නේ නෑ.කොටස් වශයෙන් ලබාදීම අපි පිළිගන්නේ නෑ. දීර්ඝ වශයෙන් කතා කරලා අපේ ස්ථාවරය ඉදිරියේ දී ප්‍රකාශ කරනවා."
 
 
වරෙක ගුරුවරුන්ට කාලකණ්ණි යයි බැණ වදිමින්ද, පොලීසිය බාර අමාත්‍යවරයා විසින් විවිධ අභූත චෝදනා නඟා ගුරු නායකයින්ට අනියමින් තර්ජනය කරද්දීද, තවත් මැති ඇමතිවරුන් බොහොමයක් ගුරු සංගම් නායකයින් මට්ටු කරන්නට විවිධ යෝජනා ඉදිරිපත් කිරීමම මෙම ගැටළුව විසඳීම කෙරෙහි ආණ්ඩුවේ පවත්නා දුර්මුඛ බව පෙනී යන්නකි. 
මේ අතර හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙකුද වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා හඟුරන්කෙත පැවති උත්සවයකින් අනතුරුව ගුරු වර්ජනය සම්බන්ධයෙන් මෙලෙස පළ කළ අදහස්ද සැලකිය හැක්කේ එහිම දිගුවක් ලෙස පමණි.
 
"ගුරු වර්ජන මම නම් දන්නවා විසඳන හැටි. හැබැයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේකට සාමකාමී විසඳුමක් නේ හොයන්නේ. අද අගමැති සමඟ තියෙන සාකච්ජාවේ දී එතුමාලා කියන දේ විශ්වාස කරයි කියලා අපි හිතනවා. එහෙම නැත්නම් ඒ වර්ජනය මර්දනය කරලා අපි ඉස්කෝලේ පටන් ගන්නවා.එහෙම අතීතයේ කරලා තියෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කරලා තියෙනවා. ජේ.ආර් ජයවර්ධන කරලා තියෙනවා. ලෝකයේ පොහොසත් වුණ රටවල්වල විරෝධතාවලට ඉඩ දීගෙන හිටියා නම් අදත් අපේ වගේ දුප්පත් රටක්.ඒ අය ලෝකයේ පොහොසත් රටවල් වෙලා තියෙන්නේ ඒ විරෝධතා යටපත් කරලා වැඩේ කරපු නිසා."
 
 
 
 
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි