ඇන්සල් ලංකා ජාත්‍යන්තර අරගල දිනය අද

ඇන්සල් ලංකා ජාත්‍යන්තර අරගල දිනය අද

බියගම ඇන්සල් ලංකා පාලකයන් විසින් සේවයෙන් නෙරපා හරිනු ලැබු  වෘත්තීය සමිති නායකයන් විසින් යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා  දියත් කර ඇති වසර අටක අඛණ්ඩ සටනට සහයෝගය පළ කිරීම වෙනුවෙන්  අද  15 වැනිදා ජාත්‍යන්තර අරගල දිනයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

දැරිය නොහැකි වැඩ කොන්දේසි කම්කරුවන් මත පැටවීමට එරෙහිව වැඩවර්ජනය කිරීම නිසා අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා වූ ඇන්සල් පාලකයන් විසින් එහි වෘත්තීය සමිතියේ ප්‍රධානින් 11 දෙනෙකු සේවයෙන් ඉවත් කරනු ලැබිණි.

ඊට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගවලට එළඹී ඇන්සල් ලංකා වෘත්තීය සමිති නායකයන්ට වන්දි ලබා දීමට අධිකරණයෙන් නිර්දේශ වී තිබුන ද, සමාගම්  පාලකයෝ  ඊට එරෙහිව අභියාචනා කරමින් දැනට වසර අටක් තිස්සේ විසදුමක් ලබා දීම  කල් දමමින්  සිටිති.

මෙලෙස සේවයෙන් පහ කොට ඇත්තේ වෘත්තීය සමිතියේ සභාපති අතුල කමල්, ලේකම් විපුල කළුආරච්චි, භාණ්ඩාගාරික කේ. එස් කනපති, කමල් ජයතිස්ස, දසන්ත ජයලත්, චන්දන රොෂාන්, ශාන්ත කුමාර් මුදලිගේ, ඒ.එල්.එම්. නසාර්, අජිත් ප්‍රියන්ත, ජේ.පී.ජී. කේ. ජයවික්‍රම සහ රෝහිත ද සිල්වාය.

ඇන්සල් සමාගමේ මුලස්ථානය පිහිටි ඔස්ට්‍රේලියාව මෙන්ම,  නවසීලන්තය, මැලේසියාව  සහ  බ්‍රිතාන්‍යය ඇතුළු රටවල වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඇන්සල් ලංකා කම්කරුවන් වෙනුවෙන් මේ ජාත්‍යන්තර අරගල දිනයට සහාය පළ කරමින් ඊට සිය දායකත්වය සපයන බව ඇන්සල් ලංකා සහයෝගිතා කමිටුව පවසයි.

බ්‍රිතාන්‍යයේ විශාලතම වෘත්තීය සමිතිය වන UNISON,  අද දිනයේ විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඊට අමතරව මෙරටදී   ලංකා ගුරු සංගමය,ලංකා වෙළඳ,කර්මාන්ත හා පොදු සේවක සංගමය, තැපැල් සේවක සංගමය, කළමනාකරුවන්ගේ වෘත්තීය සංගමය, දාබිඳු සාමුහිකය, ස්ටෑන්ඩ් අප් සේවක සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ඇතුළු වෘත්තීය සමිති රැසක් ද අද පැවැත්වෙන ඇන්සල් ලංකා ජාත්‍යන්තර අරගල දිනය වෙනුවෙන් සිය සහයෝගය පළ කර තිබේ.

UNISON Webinar

ZOOM details

https://us02web.zoom.us/webinar/register/WN_kBmAK-RtSOq5TuSFGuKFVQ