ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති එක්වෙයි

ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති එක්වෙයි
මෙරට ජාතික සම්පත් විකිණීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පාරට බැසීමට සූදානම් බව තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
 
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා මේ බව සඳහන් කළේය. 
 
විදුලි, වරාය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සංගම් නියෝජිතයින් ඊයේ (22) පස්වරුවේ අගරදගුරු නිල නිවසේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් හමුවී තිබුණි.
 
ඉන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සංවිධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා මෙසේද කියා සිටියේය.
 

"ඇත්තමට කාදිනල් හිමියන්ව දැනුවත් කිරීමක් අපිට කරන්න ඉතුරු වෙලා තිබුණේ නෑ. මේ ප්‍රශ්න ගැන කාදිනල් හිමියන් දැනුවත්. අනාගතයේ රට පත්වෙන්න යන තත්ත්වය ගැන කාදිනල් හිමි දැඩි කනගාටුවෙන් ඉන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ අමෙරිකානු සමාගම් එක්ක ගහන්න යන ගිවිසුම්, අනාගතයේ ගහන්න ඉන්න ගිවිසුම් කරුණාකරලා ඉල්ලා අස් කරගන්න."