එක් රටක්-එක නීතියක් හදන ජනපති කාර්ය සාධක බළකායේ මුල්පුටුව ‘ඥානසාර හිමියන්ට‘

එක් රටක්-එක නීතියක් හදන ජනපති කාර්ය සාධක බළකායේ මුල්පුටුව ‘ඥානසාර හිමියන්ට‘

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ  සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බලතල අනුව නම් කළ මෙම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද මෙම කාර්ය සාධක බලකාය සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

මහාචාර්ය දයානන්ද බණ්ඩා

මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ

මහාචාර්ය සුමේද සිරිවර්ධන

එන්. ජී. සුජීව පණ්ඩිතරත්න

නීතිඥ ඉරේෂ් සෙනවිරත්න

නීතිඥ සංජය මාරඹේ

එරන්ද නවරත්න

පානි වෑවල

මව්ලවි මොහොමඩ් (ගාල්ල උලමා සභාව)

කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්

කලීල් රහුමාන්

අසීස් නිසාර්දීන්

කාර්ය සාධක බලකායේ කාර්යභාරය

නව කාර්ය සාධක බලකායට ඉහත සාමාජිකයින් පත්කර ගැනුනේ, ජනපතිවරයා ඔවුන්ගේ “විචක්ෂණභාවය, සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි මහත් වූ භක්තිය සහ විශ්වාසය තබමින් බව” සඳහන් වන අතර, නව කාර්ය සාධන බලකාය විසින් ක්‍රියාත්මක විය යුතු කාර්යයන් ද්විත්වයක් ද ඒ සම්බන්ධයෙන් නිකුත් වූ ඇති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

1. ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම.

2. අධිකරණ අමාත්‍යංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස්කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන වේ නම්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝජනා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම.

කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.