කටුනායක නිදහස් වෙළඳකලාපය ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළයි!

කටුනායක නිදහස් වෙළඳකලාපය ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළයි!

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය හා කටුනාය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන නෙක්ස්ට් මැනුෆැක්චරින් ලිමිටඩ් ආයතනම සමග පසුගියදා සාමූහික ගිවිසුමකට එළඹ තිබේ.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ වෘත්තීය සමිති ශාඛාවක් කටුනායක, Next Manufacturing හි පිහිටුවා වසරක් ගතවීමටත් පෙර මෙම සාමුහික ගිවිසුමක් අත්සන් කිරීම සිදුව ඇත්තේ ඉකුත් 2021 ඔක්තෝබර් 22 වන දාය.

මේ පිළිබඳ නිදහස් වෙළෙඳකලාප හා පොදුසේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතාගෙන් අප කළ විමසුමකදී හෙතෙම මෙලෙස කරුණු පැහැදිලි කළේය.

"කටුනායක නිදහස් වෙළඳකලාපයට අයත් නෙක්ස්ට් මැනුෆැක්චරින් ලිමිටඩ් සමාගමේ සේවකයින් අපේ වෘත්තීය සමිතියේ සාමාජිකත්වය ගන්නෙ 2020 දෙසැම්බර්. බෝනස් ප්‍රමාද කිරීම නිසා ඒ්වා ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් වැඩවර්ජනයක් දියත් කර තිබුණා. වැඩවර්ජනය කරන අවස්ථාවේදී ඔවුන් අපගේ වෘත්තීය සමිතියේ සාමාජිකයින් නෙවෙයි. නමුත් ඒකී වැඩවර්ජන අවස්ථාවේදී සේවකයින් මුහුණදුන් යම් යම් ගැටළුවලට මැදිහත්වී කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් අප සංගමයේ සාමාජිකත්වය ලබාගත්තා. ඒ් අනුව වසරකට ආසන්න කාලයක් අදාළ සමාගම සමග වෘත්තීය සමිතිය පිළිගැන්වීම සඳහා කටයුතු කළා. ඒ් සඳහා විශේෂයෙන්ම එංගලන්තයේ පිහිටි වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල සහය අපට ලැබුණා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස පසුගිය ඔක්තෝම්බර් 22 වන දින එම සමාගම සමග වසර දෙකකට බලපාන පරිදි සාාමූහික ගිවිසුමකට අත්සන් කළා." ඔහු සිහිපත් කළේය.

මෙවන් සාමූහික ගිවිසුමක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට අයත් කර්මාන්ත ශාලාවක අත්සන් කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. මීට පෙරාතුව ලංකාවේ ඇඟලුම් කර්මාන්ත 350ට අධික සංඛ්‍යාවකින් ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලාවක් සාමූහික ගිවිසකට එළඹෙන්නේ එස්කැවෙල් ආයතනය පමණි. එබැවින් පසුගියදා අත්සන් කරනු ලැබුවේ ලංකාවේම ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්තයක් එළඹි දෙවෙනි සාමූහික ගිවිසුමටය. එබැවින් එය අතිශය වැදගත්ය. තීරණාත්මකය. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන ඇන්ටන් මාකස් මහතා මෙසේද සඳහන් කළේය.

" මේ සාමූහික ගිවිසුම යටතේ සේවකයින්ට බලපාන සේවා කොන්දේසි පමණක් නොව, දැනට භුක්ති විඳින සියලුම වරප්‍රසාද, අධ්‍යාපන වැඩසටහන්, ඉදිරියේදී වෘත්තීය සමිති විටෙන් විට ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීමටත් එකඟ වී තිබෙනවා. ඒ් වගේම වෘත්තීය සමිති වැඩකටයුතුවලට පහසුකම් සැලසීම සඳහා වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සාමාජික ගාස්තු ඔවුන්ගේ පඩිපතින් කපා වෘත්තීය සමිතියේ ගිණුමට බැර කිරීමටත් එකඟ වුණා. මසකට වරක් වෘත්තිය සමිතියේ කමිටු රැස්වීම පැවැත්වීමට පැය දෙකක රාජකාරි නිවාඩු ලබා දීමටත්, වැඩපොළ තුළ එම රැස්වීම් පැවැත්වීමට පහසුකම් සැලසීමටත් එකඟවුණා. වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට වරුවක රාජකාරි නිවාඩුවක් ලබාදීමට හා ඒ් සඳහා වැඩපොළ තුළ රැස්වීම් තැබීමට අවකාශ්‍ය ලබාදීමට, වෘත්තීය සමිති ශාඛාවේ ගොඩනැඟිලි දෙකට දැන්වීම් පුවරු දෙකක්, කැබිනට්ටුවක්, දුරකථනයක්, දීමටත් එකඟවී තිබෙනවා. වැඩ අවසාන කිරීමෙන් පසුව හෝ , වැඩ ආරම්භ කිරීමටත් ප්‍රථම සාමාජිකයින්ම වැඩපොළ තුළ අවශ්‍ය වුවහොත් රැස්වීමේ නිදහස ලබාදී තිබෙනවා. ඒ් වගේම වෘත්තීය සමිති මෙම සාමූහික ගිවිසුම සෑම වසරකම ඔක්තෝම්බර් මාසයේදී නැවත කේවල් කිරීමේ බලය සහිත සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිසංශෝධනය කිරීමට සලකා බැලීමටත් එකඟවී තිබෙනවා."

සැබවින්ම මීට පෙරාතුව කටුනායක වෙළෙඳකලාපයේ එකම කර්මාන්තශාලාවක හෝ සාමූහික ගිවිසුමක් අත්සන් කර නොතිබුණු නිසාත්, සේවක අයිතිවාසිකම් වශයෙන් සලකා බලද්දී එය විශාල ජයග්‍රහණයක් වන බැවින් මේ පිළිබඳව ආයතනයේ පාර්ශ්වයෙන් කුමක් කියන්නේදැයි අප විසින් විමසා සිටින ලදී. එහිදී නෙක්ස්ට් මැනුෆැක්චරින් ලිමිටඩ් හි මානව සම්පත් අංශයේ කළමනාකාර භාරත අමරසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු විසින් සිදුකරනු ලැබුවේ ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කිරීමකි.

"මේ ගැන අදහස් ප්‍රකාශ නොකන ලෙස ආයතනයේ බලධාරීන් අපට දැනුම්දී තිබෙනවා. විශේෂයෙන්ම මුහුණට මුහුණ හමුවී කරන සාකච්ඡාවකදී මිස දුරකථන මාර්ගයෙන් කිසිදු පිළිතුරක් ලබාදෙන්නට හැකියාවක් නෑ" හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙය ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාව කරන සියලුදෙනා වෙත ගෙනෙන වැදගත් පණිවිඩයක් තිබේ. වෘත්තීය සමිතියක් ආරම්භ කොට සාමූහිකව කේවල් කිරීමේ බලය ලබා ගැනීම තුළින් වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට ඔබට හැකිය. මෙය තවත් එක් නිදසුනක් පමණි.

 පී.ඩබ් මුතුකුඩආරච්චි

katunayake 02