වරාය අධිකාරියට හිමි මහර ගල්වල විකිණිම වහාම නතර කරන ලෙස ජනපතිගෙන් ඉල්ලයි

gotabhaya-rajapakshe

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මහර ගල්වල (Mahara Quarry Land) ඉඩම පුද්ගලික සමාගමකට විකිණීම වහා නතර කරන ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වරාය හා නාවික කටයුතු ආමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් MPS/P&D/2021/01/27 හා 2021.10.11 දිනැතිව ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මහර ගල්වල ඉඩම (Mahara Quarry Land) මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් අන්තර්ගත කරමින් සංවර්ධනය කිරීම මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලබා දී ඇත.

  1. එම කැබිනට් සංදේශය අනුව වරාය සේවා සැපයුම් කටයුතු සඳහා බ්ලුමැන්ඩල් ඉඩම භාවිතා කිරීමට හැකි වන පරිදි එහි ස්ථාපිත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල නිවාස ප්‍රතිස්ථාපනය කිරීම සඳහා පෞද්ගලික ආයෝජන මගින් මහර ගල්වල ඉඩම සංවර්ධනය කිරීමට සහ එම ඉඩමෙහි ඉතිරි කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතෙහි දැක්වෙන ප්‍රතිපාදන හා රජයේ චක්‍ර ලේඛ ප්‍රතිපාදන ප්‍රකාරව ආයෝජකයා හට අයිතිය විකිණීමේ පහසුකම් සහිත මිශ්‍ර සංවර්ධන පොදු කාර්යය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
  2. ඒ අනුව බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි වරාය නිවාස මහර ගල්වල ඉඩමේ කොටසක ස්ථාපිත කිරීමට පුද්ගලික සමාගමක් සම්බන්ධකර ගැනීමටත් එහි පිරිවැයේ හිලව්වට ගල්වල ඉඩමේ ඉතිරි කොටස එම සමාගමට සින්නක්කරයට ලබාදීමට අපගේ දැඩි විරෝධය පළකර සිටිමු.
  3. වරාය අධිකාරිය සතුව සිවිල් ඉංජිනේරු කොට්ඨාශයක් ඇත. එමෙන්ම දක්ෂ ඉංජිනේරුවන් හා පුහුණු සේවකයින් විශාල පිරිසක් වරාය සතුව ඇත. මහර ගල්වල ඉඩම හෙක්ටයාර් 08 කින් යුත් හිස් ඉඩමකි. වැසි කාලයට වතුර පිරෙන බවද සැබෑවකි. එම ඉඩම සංවර්ධන කටයුතු සඳහා යොදවා ගැනීමේ වරදක්ද නැත. බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි වරාය සතු ඉඩම් සේවා සැපයුම් මධ්‍යස්ථානයක් සඳහා යොදවා ගැනීමද වරදක් නැත.
  4. මෙම සංවර්ධන වැඩ සටහන සිදුකල යුත්තේ වරායේත් රටේත් සංවර්ධනය ඉලක්ක කර ගනිමිනි. නමුත් ඒවා සැපයුම් කර ඇත්තේ හා යෝජනා කර ඇත්තේ වරාය සතු දේපල විකුණා දැමීම අරමුණු කර ගනිමිනි. එමගින් ලැබෙන කොමිස් මුදල් දෙස බලමිනි. රටට හා වරායට අහිතකර එවැනි ව්‍යාපෘතියකට, වැඩපිලිවෙලකට අපට එකඟවිය නොහැක.
  5. අප ඔබ තුමා ඇතුළු රජයටත් විෂයභාර අමාත්‍යවරයාටත් යොජනා කර සිටින්නේ වරායට අයිති සේවා හා සම්පත් විකිණීම නතර කර ඒවා රටේ දියුණුවට යොදා ගන්නා ආකාරය පිළිබඳව කල්පනා කරන ලෙසයි.
  6. ඒ අනුව බ්ලුමැන්ඩල් පිහිටි නිවාස පද්ධතිය පිහිටි ඉඩමේ කොටසක නිවාස සංකීර්ණයක් ඉදිකර හිස්වන ඉතිරි භූමිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකොට පවත්වාගෙන යන ලෙස අප ඉල්ලා සිටිමු.
  7. සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට හා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට බ්ලුමැන්ඩල් ඉඩම ප්‍රමාණවත් නොවන්නේ නම් ගල්වල පිහිටි ඉඩම ඒ සඳහා යොදා ගැනීමට අපගේ විරෝධයක් නැත. එම කටයුත්ත සිදුකල යුත්තේ වරාය සම්පත්, වරාය සතු ඉංජිනේරුමය දැනුම හා පුහුණු කාර්යය මණ්ඩලය යොදා ගනිමිනි. එය කිසිසේත් පුද්ගලික සමාගමකට පැවරිය යුතු නැත. එම ඉඩමේ ඉතිරි කොටස කෙටිකාලීන බදු පදනමක් මත වරායට වාසිදායක කොන්දේසි යටතේ පුද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම පිළිබඳව අපගේ විරෝධයක් නැත. එහෙත් එම ඉඩම සින්නක්කරයට පුද්ගලික සමාගමකට විකිණීම අපට පිළිගත නොහැක.
  8. වරාය නිවාස පද්ධතිය මහර ගල්වල ප්‍රදේශයට අංක 07 අනුව සිදුකරන්නේ නම් වරාය සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා රාජකාරී වේලාවල් වලට අදාල ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බවත් දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට අගතියක් නොවන පරිදි එම කටයුතු සිදුකල යුතු බවත් අවධාරණය කර සිටිමු.

රට දැවැන්ත විදේස් විනිමය අර්බුදයකට මුහුණ පා ඇති මොහොතේ රටට ඩොලර් උපයා ගත හැකි ව්‍යාපෘති පුද්ගලික අංශයට විකිණීම වහා අත්හිටුවා ඒවා රජය යටතේ වඩා ඵලදායී ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යන ලෙස අප ඔබ තුමාගෙන ඉල්ලා සිටිමු. තවද මහර ග්ලවල පිහිටි ඉඩම සින්නක්කරයට විකිණීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කරන ලෙසත් ලිපියේ අංක 06, 07, 08 අනුව කටයුතු කරන ලෙසත් අප ඔබ තුමාගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිමු.