කෝවිඩ් මුවාවෙන් කම්කරුවන් මර්දනය ගැන එක්සත් ජාතීන්ට කියයි

කෝවිඩ් මුවාවෙන් කම්කරුවන් මර්දනය ගැන එක්සත් ජාතීන්ට කියයි

වසංගතයට මුවාවී වැඩ කරන ජනයා දැඩි ලෙස මර්දනයේ නිරතව සිටින ආණ්ඩුව කම්කරුවන්ට සංවිධානය වීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.

ඔවුන් ඒ බව දැනුම් දී ඇත්තේ රජයේ ආරාධනයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින සමකාලීන වහල් භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ටොමෝයා ඔබොකටා වෙතයි.

සතියක සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා නොවැම්බර් 26 වැනි දින  සිය රාජකාරිය අරඹා තිබුනේ විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් හමුවී සාකච්ඡා පවත්වමිනි.

ඉන් පසුව කන්ද උඩරට, උතුර, නිදහස් වෙළද කලාපය ආදී ප්‍රදේශ වල සංචාරය කරමින් ඇඟලුම් කර්මාන්තය, වතුකරය, සංචාරක කර්මාන්තය සහ ගෘහ සේවය, ක්ෂුද්‍ර මුල්‍ය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ නියෝජිත ඔබොකටා කටයුතු කර තිබුනි.

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතියක්ද වන  නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්වය යටතේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්කරුවන්ට ආණ්ඩුව මෙන්ම හාම් පුතුන්ද සලකන  ආකාරය සම්බන්ධයෙන් තමන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත දැනුවත් කළ බවයි.

වෘත්තීය සමිති බිද වැට්ටවීම සදහා හාම්පුතුන් කටයුතු කරන ආකාරයත් ඒ පිළිබදව දැනුම් දුන් විට  ආණ්ඩුව අනුගමනය කරන නිහඩ පිළිවෙතත් ඇන්ටන් මාර්කස්   ටොමෝයා ඔබොකටාහට  විස්තර කර තිබේ.

Sec un

ලිංගික අතවර “ජෙනරලයිස් කරන්න බෑ”

 ආයෝජන ප්‍රවර්ධන කලාපයේ  කම්කරු ස්ත්‍රීන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් සමකාලීන වහල් භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා කළ විමසීමට වෘත්තීය සමිති නායකත්වයෙන් ලැබී ඇති පිළිතුර එය “සාමාන්‍ය තත්වයක් නොවන” බවයි.

"එවැනි සිද්ධීන් නොවෙනවම කියලා මම කිව්වේ නෑ. හැබැයි ඒක ජෙනරලයිස් කරන්න බෑ කියලා මම කිව්වා," යි ඇන්ටන් මාර්කස් මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.

කෙසේ වෙතත්, වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා කම්කරුවන් දොට්ට දැමූ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රධාන පෙලේ කර්මාන්තශාලාවක පාලකයන්ට එරෙහිව පැවති විරෝධතාවකදී ලිංගික අතවර පිළිබඳ චෝදනා නැගී තිබුණි.

“කම්කරුවන්ගේ රෙදි ගලවා පරීක්ෂා කිරීම නවත්වනු, කම්හල් ඇතුලේ කාන්තාවන්ට ලිංගික අතවර කිරීම නවත්වනු,” යනුවෙන් සඳහන් සටන් පාඨ පුවරු වතුපිටිවල ATG ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුනු කම්කරුවන් විසින් ඔසවාගෙන සිටිනු දෙසැම්බර් 1 දා  දැකගන්නට ලැබිණි.

ක්‍රියාත්මක නොවන UN ප්‍රඥප්ති

වසංගත සමයේත්  කම්කරු අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් දිගින් දිගටම සටන් කිරීම නිසා හිරබත් කන්නට පවා සිදුවූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටියේ දෙසැම්බර් 2 වැනි බ්‍රහස්පතින්දා  එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ටොමෝයා ඔබොකටා රාජ්‍ය හා පුද්ගලික අංශයේ විවිධ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අත්සන් කර තිබුනද ඒවා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයෝ එහිදී ටොමෝයා ඔබොකටා දැනුවත් කර තිබේ.

රාජ්‍ය අංශයේ පවතින ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි කළ  විට දී   ආයතන ප්‍රධානීන් ස්වාධීන නොවීම සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයෝ සමකාලීන වහල් භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා දැනුවත් කර ඇත.

"රාජ්‍ය අංශයේ ආරවුල් සමතකරණයේදී ආයතන වල ප්‍රධානීන්ගේ ස්වාධීනතාව පිළිබදව බරපතල ගැටළු තියනවා. විනය බලධාරියා පත් කරන්නේ ආයතන ප්‍රධානියා. රාජ්‍ය ආයතන බොහෝමයක මේක බරපතල ගැටළුවක්. මේ යාන්ත්‍රණය පිළිබදව බරපතල ගැටළු තියනවා . අපි ඒ පිළිබදව සාකච්ඡා කළා," යි ජෝසප් ස්ටාලින් ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා සදහන් කරයි.

වසංගත නීති යොදා ගනිමින් කම්කරු අරගල මැඩ පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය පැහැදිලි කර ඇති වෘත්තීය සමිති නායකයෝ එහිදී වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ රට තුළ සිදුව පවතින හමුදාකරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවයි.

ජාත්‍යන්තර වෙළෙඳපලට අත්වැසුම් අපනයනය කරන ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් සමාගම තම ආයතනය තුළ අළුතින් පිහිටවු වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගත් සේවකයන් 16 දෙනකු රැකියාවෙන් දොට්ට දැමීම සම්බන්ධයෙන්ද වෘත්තිය සමිති නායකයෝ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා දැනුවත් කළ බව ජෝසප් ස්ටාලින් වෘත්තීය සමිති නායකයා මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා ඇත.

micro un

ක්ෂුද්‍ර මුල්‍ය බර

විශේෂ නියෝජිතයා ක්ෂුද්‍ර මුල්‍ය ණය බරින් පීඩාවට පත්ව සිටින කාන්තාවන්ද මුණගැසී තිබුණි.

ණය අහෝසි කරන ලෙසත්, කුඩා හිඟ ණය මුදල් ගෙවාගත නොහැකිව ඉන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම අත්හිටුවන ලෙසත්, ණයබරෙන් පීඩිතයන් හා සිවිල් සමාජ නියෝජිතයන්ද ඇතුලත් කමිටුවක් පිහිටුවන ලෙස ආණ්ඩුවට නිර්දේශ කරන ලෙසත් ඔහුගෙන් ඉල්ලා තිබුණි.

“ආණ්ඩුවට, පුද්ගලික ෆිනෑන්ස් සමාගම්වලට, මෙන්ම ක්ෂුද්‍ර මුල්‍ය ණය ප්‍රවර්ධනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවලටත් නිර්දේශ අදාළ විය යුතුය,” යි සමකාලීන වහල් භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ටොමෝයා ඔබොකටාට නීතිය හා සමාජ භාරය විසින් දෙන ලද සංදේශයක අවධාරනය කර ඇත.

ටොමෝයා ඔබොකටාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අනාවරණය කරගත් දෑ සහ නිර්දේශ අද දිනයේ කොළඹදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

ඔහුගේ ශ්‍රී ලංකාඅ සංචාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබන දෙසැම්බරයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපාත් කෙරෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.