2021 දී කාර්මික ආරවුල් සහ ව්‍යවස්ථාපිත නීති උල්ලංගණයවීම් පැමිණිලි 13,920ක්

2021 දී කාර්මික ආරවුල් සහ ව්‍යවස්ථාපිත නීති උල්ලංගණයවීම් පැමිණිලි 13,920ක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2021 වර්ෂයට අදාල කම්කරු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනුව කම්කරු දෙපාර්තමේන්තුවට අදාලව 2021 වර්ෂය ආරම්භයේදී කාර්මික ආරවුල් සහ ව්‍යවස්ථාපිත නීති උල්ලංගණයවීම් පිළිබඳ පැමිණිලි 13,545ක් තිබී ඇති අතර එම වර්ෂයේදී තවත් අලුත් පැමිණිලි 11,774ක් ලැබී ඇත. පැමිණිලි 11,399ක් එම වර්ෂයේදී විසඳා ඇති අතර වර්ෂය අවසන් වනවිට ඊලඟ වර්ෂය සඳහා පැමිණිලි 13,920ක් ඉතිරිව තිබී ඇත.

එම වර්ෂයේ වැඩ වර්ජන 17ක් වාර්තා වී ඇති අතර ඒ වතු ක්ෂේත්‍රයේ 05ක් හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ 12ක් වශයෙනි. එම වැඩවර්ජන සඳහා 6720ක් සහභාගිවී ඇති අතර ඒ වතු ක්ෂේත්‍රයේ 848ක් හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ 5872ක් වශයෙනි. එහිදී අහිමි වී ඇති මිනිස් දින ගණන 108,772ක් වන අතර ඒ වතු ක්ෂේත්‍රයේ 3705ක් හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ 105,067ක් වශයෙනි.

පඩි පාලක සභා 06ක වැටුප් යාවත්කාලීන කිරීම් එම වර්ෂයේ කර ඇත. රබර්, ප්ලාස්ටික් හා පෙට්‍රෝලියම් රෙසින ආශ්‍රිත භාණ්ඩ නිපදවීමේ කර්මාන්තයේ රුපියල් 10,000කට තිබූ මාසික අවම වැටුප රුපියල් 12,500 දක්වා වැඩිකර ඇත. ආරක්ෂක සේවා කර්මාන්තයේ රුපියල් 10,000ක අවම වැටුප රුපියල් 12,500ක් දක්වාත්, රෙදි පිළි නිෂ්පාදන කර්මාන්තයේ රුපියල් 10,000ක අවම වැටුප රුපියල් 12,500ක් දක්වාත්, මුද්‍රණ කර්මාන්තයේ රුපියල් 10,000ක් වූ අවම වැටුප රුපියල් 12,500 දක්වාත්, හෝටල් හා භෝජන සැපයීමේ කර්මාන්තයේ රුපියල් 10,000ක් වූ අවම වැටුප රුපියල් 12,500 දක්වාත් වැඩි කර ඇත. සිල්ලර හා තොග වෙළඳ කර්මාන්තයේ රුපියල් 11,500 මාසික අවම වැටුප රුපියල් 12,500 දක්වාත් වැඩිකර ඇත.

රැකියාවේ නියුතු කාන්තාවන්, තරුණ හා ළමුන් පිළිබඳ පවත්නා නීති ක්‍රියාත්මක කිරීම යටතේ දෛනික පරීක්ෂණ 37ක්, ළමා ශ්‍රමය පිළිබඳ පිළිබඳ පරීක්ෂණ 204ක්, කාන්තාවන්ගේ සේවා කොන්දේසි පිළිබඳව ලැබුණු පැමිණිලි පරීක්ෂණ 16ක්, කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා අනුමැතිය ලබාදීම් 592ක්, අනතුරුදායක ළමා ශ්‍රමය පිළිබඳ විශේෂ කණ්ඩායම් පරීක්ෂණ 60ක් සිදුකර ඇත.

එම වර්ෂයේ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ යටතේ සාමාන්‍ය ප්‍රතිලාභ ගෙවීම් 95,474ක්, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම් 4607ක් හා 30% පූර්ව ප්‍රතිලාභ ගෙවීම් 16,015ක් ලබාදී ඇත.

2021 වර්ෂයට පිවිසෙන විට කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධ නඩු 751ක් පැවත ඇති අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ 124ක්, අභියාචනාධිකරණයේ 160ක්, මහාධිකරණයේ 97ක්, දිස්ත්‍රික් අධිකරණයේ/වානිජ මහාධිකරණයේ 277ක් හා මහේස්ත්‍රාත් අධිකරණයේ 93ක් වශයෙනි. එම වර්ෂයේදී අලුතින් නඩු 352ක් ආරම්භ කර ඇති අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ 14ක්, අභියාචනාධිකරණයේ 132ක්, මහාධිකරණයේ 33ක්, දිස්ත්‍රික් අධිකරණය/වානිජ මහාධිකරණය 3ක් හා මහේස්ත්‍රාත් අධිකරණයේ 170ක් වශයෙනි. එම වර්ෂයේ අවසන් කර ඇති මුළු නඩු සංඛ්‍යාව 205ක් වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණය 19ක්, අභියාචනාධිකරණය 12ක්, මහාධිකරණය 29ක් හා මහේස්ත්‍රාත් අධිකරණය 154ක් වශයෙනි.

දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාල මගින් එම වර්ෂයේදී සේවක අරථසාධක පනත යටතේ නඩු 1868ක් ගොනු කර ඇති අතර ඉන් 800ක් විසඳී තිබේ. පාරිතෝෂික ගෙවීම් පනත යටතේ නඩු 1221ක් ගොනුකර ඇති අතර ඉන් 816ක් විසඳී තිබේ. පඩි පාලක සභා ආඥා පනත යටතේ නඩු 341ක් ගොනුකර ඇති අතර ඉන් 90ක් විසඳී ඇත. සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ නඩු 132ක් ගොනුකර ඇති අතර ඉන් 19ක් විසඳී ඇත. කාර්මික ආරවුල් පනත යටතේ නඩු 45ක් ගොනුකර ඇති අතර ඉන් 5ක් විසඳී තිබේ. සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත යටතේ නඩු 10ක් ගොනු කර ඇතත් කිසිඳු නඩුවක් විසඳී නැත. කාන්තාවන්, තරුණ තැනැත්තන් හා ළමුන් සේවයේ යෙදවීමේ පනත යටතේ නඩු 19ක් ගොනුකර ඇති අතර ඒ සම්බන්ධ නඩු 21ක් එම වර්ෂයේ විසඳී ඇත. ප්‍රසූතිකාධාර ආඥා පනත යටතේ නඩු 4ක් ගොනුකර ඇති අතර ඊට සම්බන්ධ නඩු 5ක් එම වර්ෂයේ විසඳී ඇත. අයවැය සහන දීමනා පනත යටතේ නඩු 190ක් ගොනුකර ඇති අතර ඉන් 64ක් විසඳී ඇත. කම්කරු විනිශ්චය සභා නියෝග යටතේ නඩු 81ක් ගොනුකර ඇති අතර ඉන් 24ක් විසඳී ඇත.

එම වර්ෂයේදී උස් ස්ථානයකින් ඇද වැටීමෙන් මාරක අනතුරු 20ක් හා මාරක නොවන අනතුරු 18ක් සිදුවී ඇත. විදුලි සැර වැදීමෙන් මාරක අනතුරු 8ක් හා මාරක නොවන අනතුරු 3ක් සිදුවී ඇත. ගිනි/රසායන ද්‍රව්‍ය/අපද්‍රව්‍ය හේතුවෙන් මාරක අනතුරු 2ක් හා මාරක නොවන අනතුරු 9ක් සිදුවී ඇත. රිය අනතුරු හේතුවෙන් මාරක අනතුරු 57ක් හා මාරක නොවන අනතුරු 25ක් සිදුවී ඇත. සතුන්ගෙන් මාරක අනතුරු 6ක් හා මාරක නොවන අනතුරු 5ක් සිදුවී ඇත. වෙනත් ද්‍රව්‍ය පුද්ගලයා මතට පතිත වීමෙන් මාරක අනතුරු 13ක් හා මාරක නොවන අනතුරු 8ක් සිදුවී ඇත. අසනීප තත්ව හේතුවෙන් මාරක අනතුරු 13ක් සිදුවී ඇත.

(අනිද්දා)