ඉන්ටග්‍රිටි අයිකන් 2021 සම්මාන ප්‍රදානෝත්සවයේ දී කෝවිඩ් විරුවෝ කිරුළු පළඳිති

ඉන්ටග්‍රිටි අයිකන් 2021 සම්මාන ප්‍රදානෝත්සවයේ දී කෝවිඩ් විරුවෝ කිරුළු පළඳිති

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු කෝවිඩ් සටනට උර දෙන විරුවන් හඳුනා ගෙන ඔවුනට ගෞරවය පුද කරනු වස් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ “ඉන්ටග්‍රිටි අයිකන් 2021 (සුපිළිපන් ප්‍රණාම)” සම්මාන උළෙල ජනවාරි 11 වන අඟහරුවාදා දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබී ය.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සිය දිවි අහිමි වූවන් සහ රටක් වශයෙන් කෝවිඩ් සමඟ සටන් වදින මොහොතක සිය ජීවිත පරිත්‍යාගයෙන් එම තත්ත්වය මැඩලීමට ක්‍රියා කළ ඉදිරිපෙළ සේවා සපයන්නන් සිහිපත් කර විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමෙන් පසු උත්සව කටයුතු ආරම්භ විය.

“අකවුන්ටබිලිටි ලැබ්” නමැති ගෝලීය සංවිධානයේ මූලික සංකල්පයක් වශයෙන් ආරම්භ වූ ඉන්ටග්‍රිටි අයිකන් (සුපිළිපන් ප්‍රණාම) වැඩසටහන මෙවර පවත්වනු ලැබුවේ සිව්වන වරට ය. තම ප්‍රජාවන් අතර සුපිළිපන්නභාවය ඇති කිරීම උදෙසා ඵලදායී අදහස් මතු කරමින් සහ ක්‍රියාත්මක කරමින් වෙනසක් ඇති කිරීමට කැපවී සිටින රාජ්‍ය නිලධාරීන්ට අත්වැලක් සැපයීම වෙනුවෙන් “අකවුන්ටබිලිටි ලැබ්” ආයතනය ක්‍රියාත්මක වේ.

ඉන්ටග්‍රිටි අයිකන් 2021 (සුපිළිපන් ප්‍රණාම) මෙවර පෙර වසරවලට වඩා වෙනස් මුහුණුවරකින් පවත්වනු ලැබී ය. ගෝලීය වසංගතය හේතුවෙන් අප දැන් ජීවත් වන අතිශය වෙනස් වූ සමාජ සන්දර්භයන් සැලකිල්ලට ගනිමින්, ඉන්ටග්‍රිටි අයිකන් 2021 (සුපිළිපන් ප්‍රණාම) සුවිශේෂ වැඩසටහනක් වශයෙන්, කෝවිඩ් 19 ඉදිරිපෙළ සිට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ම වෙන් කරන ලදි. අවංක ව සහ සුපිළිපන් බවින් යුතුව වසංගතය මැඩලීම උදෙසා සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් කැපවීම් සිදු කරන රාජ්‍ය නිලධාරීන්ට ප්‍රණාම දැක්වීම මෙම වැඩසටහනෙහි අපේක්ෂාව විය.

2021 වසරේ ජුනි මස අපක්ෂපාතී විනිසුරු මඩුල්ලක් පත් කිරීමත් සමඟ ඉන්ටග්‍රිටි අයිකන් 2021 (සුපිළිපන් ප්‍රණාම) තේරීම් කටයුතු ආරම්භ විය. අනතුරු ව දිවයින පුරා රාජ්‍ය සේවයේ ඉදිරිපෙළ සේවා සපයන්නන්ගෙන් නාම යෝජනා කැඳ වූ අතර මාර්ගගත සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ ඇතුළත් සූක්ෂම පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු නාමයෝජනා 250ක් අතුරින් අවසන් වටය සඳහා 10 දෙනෙකු තෝරා ගනු ලැබී ය.

2021 වසරේ සුපිළිපන් ප්‍රණාමලාභීන් ලෙස පහත නම් සඳහන් අය හඳුනා ගන්නා ලදි.

1. සී.නිෂාරි අනුරුද්ධිකා ද සිල්වා – ග්‍රාම නිලධාරිනී – දඹදුරය, සීදුව

2. වෛද්‍ය හසිත අත්තනායක – අධ්‍යක්ෂ – ජාතික බෝවන රෝග විද්‍යායතනය

3. කේ. ජී. ගීතානන්ද – ගිලන් රථ රියදුරු – දිසා රෝහල බටපොල

4. නිම්මි ජයසේකර – ආසාදන පාලන හෙද නිලධාරිනී – දිස්ත්‍රික් මහා රෝහල, ඇඹිලිපිටිය

5. ශන්මුගරාජා ශිවශ්‍රී – ප්‍රාදේශීය ලේකම් – තෙල්ලිපල්ලෙයි

අවසන් 10 දෙනා අතරට පැමිණීමට පහත නම් සඳහන් රාජ්‍ය නිලධාරින් සමත් වූහ.

වෛද්‍ය ඉන්දික එල්ලාවල – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල

වෛද්‍ය ප්‍රනීත් තොම්මාදුර – දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි – දිස්ත්‍රික් රෝහල, කරන්දෙණිය

කේ.ජී.ජී.පී.කේ.රත්නායක – මහජන සෞඛ්‍ය පරීක්ෂක – දිසා අංක 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, කොළඹ මහ නගර සභාව

වෛද්‍ය නිශාන්ත පද්මලාල් වෙදගේ – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, උඩුගම

ශන්මුගරාජා ශිවශ්‍රී – ප්‍රාදේශීය ලේකම් – තෙල්ලිපල්ලෙයි

එස්. එච්. අමීර් – මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරි – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මුතූර්

30 වසරක් මුළුල්ලේ විවිධ වූ ශක්ති ප්‍රමාණයන්ගෙන් ජනතාවට සිය සේවය ලබා දුන් විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර සුපිළිපන් ප්‍රණාමලාභීන් සහ අවසන් 10 දෙනාට සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු කළේ ය.

“කෝවිඩ් වසංගතය හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝග හමුවේ රාජ්‍ය නිලධාරින් ඒ අභියෝග මැඩගෙන නැගී සිටි ආකාරයෙන් මිනිසාගේ සහජ යහපත්කම පෙන්නුම් කරනවා. ඔවුන්ගේ සුපිළිපන්බව, අවංකත්වය සහ බොහෝ දෙනෙකුගේ, විශේෂයෙන්ම රාජ්‍ය සෞඛ්‍ය සේවාවන්හි ශක්තිමත් සදාචාර ප්‍රතිපත්ති අනුගමනය කිරීම යනාදී කාරණා අගය කළ යුතු වනවා.

සෑම මට්ටමකම දූෂණය ඉහවහා ගිය, කිසිදු විනිවිදභාවයක් නොමැති, වැරදිකරුවන්ට වැරදි අනාවරණය වූ පසුත් කිසිදු දඬුවමක් නැති වටපිටාවක රාජ්‍ය නිලධාරින්ට අවංකත්වයෙන් යුතුව සිය රාජකාරිය ඉටු කිරීම ඉතා අපහසුයි. සාමාන්‍යයෙන් ඔවුන් ව දිරිමත් කිරීමට ඔවුන්ගේ ගෞරවනීය සේවය ඇගයීමට පාත්‍ර වෙන්නේ නැහැ. එමනිසා සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් මනුදම් පිරි සේවයක් මහජනතාවට ලබා දුන් රාජ්‍ය නිලධාරින් හට කීර්තිය සහ ප්‍රණාමය පුද කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ දේශීය පරිචය දියත් කළ නවමු ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන අතිප්‍රශංසනීයයි.” උත්සව සභාව අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේ ය.

“සුපිළිපන්බවට ආදර්ශ සපයන මෙවන් රාජ්‍ය නිලධාරින් දූෂණයට එරෙහි සටනේ විශාල භූමිකාවක් ඉටු කරනවා. දූෂණයේ රැල්ලට එරෙහිව නැගී සිටිමින් රටට මහඟු සේවයක් කළ හැක්කේ කෙසේ ද යන කාරණය ඔවුන් පෙන්වා දෙනවා. සුපිළිපන්බවට දූෂණය පරාජය කළ හැකි යන බලාපොරොත්තුව සහ දිරිගැන්වීම මේ සුපිළිපන් ප්‍රණාමලාභීන් ගෙන එනවා.” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා විධායක අධ්‍යක්ෂිකා නීතිඥ නදීශානි පෙරේරා එලෙස පැවසුවා ය.

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තමන්ගේ සහ සිය ආදරණීයයන්ගේ ද ජීවිත පිළිබඳ නොතකා ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 මර්දන ක්‍රියාන්විතයේ ඉදිරිපෙළ සේවා සැපයූ සහ තවදුරටත් එහි නියැලෙන්නන් හට අපි ආචාර කරන්නෙමු. සුපිළිපන්බවෙන් යුක්ත ව අඛණ්ඩ ව ජාතියට සේවය කිරීමට 2021 සුපිළිපන් ප්‍රණාමලාභී සැම කටයුතු කරනු ඇති බවත් රටේ රාජ්‍ය නිලධාරීන්ට දිදුලන ආදර්ශයක් වනු ඇති බවත් TISL ආයතනය බලාපොරොත්තු සහගත ව විශ්වාස කරයි.