ගර්භනී, විශේෂ රෝග හා අවුරුදු එකට අඩු ගුරුවරුන්ට සහනයක් ඉල්ලයි

ගර්භනී, විශේෂ රෝග හා අවුරුදු එකට අඩු ගුරුවරුන්ට සහනයක් ඉල්ලයි

COVID-19  අවදානම තුල රා.ප.ච. 02/2021 (vi) චක්‍රලේඛය මගින් ගර්භනී, වයස අවු. 01 ට අඩු දරුවන් සිටින හා විශේෂ රෝගාබාධවලින් පෙළෙන රජයේ සේවකයින්ට දී තිබූ සහන අහෝසි කිරීම සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමය විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සමස්ත පාසල් පද්ධතිය තුල වසන්ගතයේ නව ප්‍රභේද විසින් තවදුරටත් ඇතිකර ඇති අවදානම් තත්වයන්ද සැලකිල්ලට ගෙන ගර්භනී ඇතුලූ සුවිශේෂී අවදානම් සහගත රජයේ සේවකයින්ට රා.ප.ච. අංක 02/2021 (v) මගින් ලබා දී තිබූ සෞඛ්‍ය ආරක්‍ෂිත සහන එලෙසම ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, COVID-19 අවදානම් තත්වයක් යටතේ රාජ්‍ය සේවයට වාර්තා කිරීමේදී සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත 2021. 10. 01 දිනැතිව නිකුත් කළ අංක 02/2021 (v) චක්‍රලේඛය මගින් ගර්භනී, වයස අවුරුදු 01 ට අඩු දරුවන් සිටින හා විශේෂ රෝගාබාධවලින් පෙලෙන රජයේ සේවකයින්ට ලබා දී තිබූ සෞඛ්‍ය ආරක්‍ෂිත සහන 2021. 12. 30 දිනැති 02/2021 (vi) චක්‍රලේඛය මගින් අහෝසි කර දැමීම පිළිබඳව ලංකා ගුරුසේවා සංගමය ඔබගේ දැඩි අවධානය යොමු කරවමු,

02. රාජ්‍ය සේවයේ 3 ලක්‍ෂයකට ආසන්න ගුරුවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල් තුල තම රාජකාරී කටයුතුවල නියැලීමේදී විශේෂයෙන් පන්ති කාමරයෙන් පන්ති කාමරයට යන ගුරුවරුන්ට සිසු දරුවන් විශාල ප්‍රමාණයක් සමග සමීපව කටයුතු කිරීමට සිදුවන අතර එහිදී ඔවුන්ට දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවද අප ඔබට අමුතුවෙන් පැහැදිලි කරදිය යුතු නැත. අදියර වශයෙන් පාසල් විවෘත කිරීම ආරම්භයේ සිටම පාසල්තුල Covid ආසාධිතයින් වාර්තා වූ අතර මේ නිසා පන්ති කාමර වශයෙන් මෙන්ම පාසල් මට්ටමින්ද වසා දැමීම් 2021 පාසල් වාරය අවසන් වෙන තෙක්ම වාර්තා විය. මෙවැනි දත්තයන් අදාල තීරණ ගැනීමේදී කිසිසේත් සැලකිල්ලට ගෙන නොමැති බවත් අදාල ආයතන සමග සාකච්ඡා කර නොමැති බවත් මෙහිදී පැහැදිලි කරුණකි,

03. රටතුල Covid-19  වසංගතයෙහි අවදානමෙන් ඔමික්‍රෝන් වැනි විශේෂ ප්‍රභේදයක ව්‍යාප්තියෙහි අවදානමත් එසේ තිබියදී මෙවැනි සෞඛ්‍ය ආරක්‍ෂිත සහනයක් අහෝසි කරනුයේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මතද නැතිනම් එවැනි වගකීම් සහගත විද්‍යාත්මක ප්‍රවේශයකින් හෝ නිර්දේශයකින් තොරවද යන සාධාරණ සැකය අපට ඇත,

04. එහෙයින් සමස්ත පාසල් පද්ධතිය තුල වසන්ගතයේ නව ප්‍රභේද විසින් තවදුරටත් ඇතිකර ඇති අවදානම් තත්වයන්ද සැලකිල්ලට ගෙන ගර්භනී ඇතුලූ සුවිශේෂී අවදානම් සහගත රජයේ සේවකයින්ට රා.ප.ච. අංක 02/2021 (v) මගින් ලබා දී තිබූ සෞඛ්‍ය ආරක්‍ෂිත සහන එලෙසම ලබා දීමට කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් තව දුරටත් රටෙහි පවතින වසංගතය තුල එම ජීවිතවල සම්පූර්ණ වගකීම ඍජුවම අදාල බලධාරීන් විසින් භාරගත යුතු බවත් ලංකා ගුරුසේවා සංගමය දැඩිව අවධාරණය කරමු.