ළඟ ළඟ එන තවත් අර්බුදයක් ගැන වෘත්තීය සමිති 

 ළඟ ළඟ එන තවත් අර්බුදයක් ගැන වෘත්තීය සමිති 
ඉන්ධන මිලදී ගැනීම සඳහා නියමිත වේලාවට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් නෞකාවලට ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් විශාල වශයෙන් වැය කිරීමට සිදුව ඇතැයි සමගි ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිතිය පවසයි.
 
එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මේ බව කියා සිටියේ  ඊයේ (06) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට  එක්වෙමිනි.
 
සමගි ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා, එහිදී මෙසේද කියා සිටියේය.
 
"අද වනවිට ඩීසල් නැව ලංකාවට ඇවිත් දින 11යි. ඩීසල් නැව ඉවර වෙන්නේ අද හවස. 28 වනදා ආපු පෙට්‍රල් නැවේ ගොඩබෑමේ කටයුතු මේ මොහොත වනවිටත් සිදුවෙන්නේ නැහැ. ඉන්ධන ගොඩබෑමට අවශ්‍ය මුදල් මේ වනතුරු නිදහස් වෙලා නැහැ කියලා තහවුරුයි. ඩොලර් 25,000 බැගින් දින 8ක ප්‍රමාද ගාස්තු ගෙවන්න ඕනේ. ඊළඟ නැවේ ඉන්ධන ගොඩබාලා නැහැ. හෙට බාන්න කිව්වත් දින 13ක් වත් යනවා. තවත් දින 10කට ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා. ඩොලර් නැති රටේ ප්‍රමාද ගාස්තු ගෙවනවා. සීයට සීයක් භූමිතෙල් නිෂ්පාදනය කරපු තැන වහලා දැන් භූමිතෙල් පෝලිම දෙගුණවෙලා. ඉටි පන්දම් ලෑස්ති කරන්න කියලා කියන්නේ විදුලිබල මණ්ඩලය. කර්මාන්තශාලා වැසීමේ අර්බුදයත් ඇවිල්ලා. සේවකයින්ට රැකියාත් නැතිවෙන තැනටයි මේ ගේන්නේ."
 
කෙසේ වෙතත් බැංකු නිවාඩු හේතුවෙන් තහවුරු කරගැනීමේ පැවති ප්‍රමාදය අවසන්වීමෙන් අනතුරුව එක් ඉන්ධන නෞකාවක ඉන්ධන ගොඩබෑමේ කටයුතු අවසන් කර තවත් ඉන්ධන නෞකාවක ඉන්ධන ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා කළමනාකාරීත්වය නිවේදනය කර තිබේ.
 
මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සමග ගිවිසුමකට එළඹීමට එරෙහිව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානය ලබන 13 වැනිදා ත්‍රිකුණාමලයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
 
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ඒ බව කියා සිටියි.