ආර්ථික සංවර්ධන නිලධාරීන් දේශපාලන අතකොළු බවට පත් කරලලු

ආර්ථික සංවර්ධන නිලධාරීන් දේශපාලන අතකොළු බවට පත් කරලලු

2021 නොවැම්බර් 25 ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද රාජකාරී ලැයිස්තු ප්‍රකාරව රාජකාරී පැවරීම වෙනුවට ආණ්ඩුවේ දේශපාලන අධිකාරියේ පටු වුවමනාවන් ඉටු කිරීමට ආර්ථික සංවර්ධන නිලධාරීන් යොදා ගැනීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2022 අයවැය යෝජනා අනුව ‘‘ගම සමඟ පිළිසඳරක්’’ වැඩ සටහන යටතේ දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම්වල ක්‍රියාත්මක ජීවන උපාය වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් තේරීමේ දී ග්‍රාමීය කමිටුව යටපත් කරමින් දේශපාලන පක්ෂපාතීත්වය මත පුද්ගලයන් තෝරා ඒ සඳහා ග්‍රාමීය කමිටුව වෙනුවට කොට්ඨාශ මන්ත්‍රීවරයාගේ කැමැත්ත පමණක් ලබා ගැනීමට ආර්ථික සංවර්ධන නිලධාරීන්ට බල කරමින් සිටී. ඒවා පහත පරිදි සඳහන් කරමු.

1. ගම සමඟ පිළිසඳරක් වැඩ සටහන යටතේ ක්‍රියාත්මක Home Shop ව්‍යාපෘතිය,

2. ගම සමඟ පිළිසඳරක් යටතේ ක්‍රියාත්මක ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභීන් තේරීම.

ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙත ඇති රාජකාරී ලැයිස්තුව අනුව ග්‍රාම නිලධාරී වසම තුළ ග්‍රාමීය කමිටුව කැඳවා ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව සංවර්ධන යෝජනා තෝරා ගැනීමට මුල දී කටයුතු කළ ද ප්‍රතිලාභීන් තේරීමේ දී ග්‍රාමීය කමිටුව නොසලකා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ගේ තනි අභිමතයට අනුව තෝරන ලද ප්‍රතිලාභීන්ට ආර්ථික සංවර්ධන නිලධාරීවරයාගේ හෝ වරියගේ නිර්දේශ ලබා දීමට සිදු වී ඇත.

Home Shop ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් තොරාගන්නා ඉල්ලූම්පත්‍රයේ ග්‍රාමීය කමිටුවේ සභාපති හා ලේකම් වශයෙන් ස්ථාන දෙකක අත්සන් යෙදීමට අවස්ථාව ලබා දී තිබේ. එම ඉල්ලූම් පත්‍රයේ ග්‍රාමීය කමිටු සභාපති යනුවෙන් සඳහන් ස්ථානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ අත්සන ලබාගැනීමට මාණ්ඩලික නිලධාරීන් බල කරමින් සිටී. තවද ලේකම් ලෙස අත්සන් කිරීමට වෙන්කර ඇති ස්ථානය හිස්ව තැබීමට සිදු වී තිබේ.

එහෙත් ග්‍රාමීය කමිටුවේ කැඳවුම්කරු වන ආර්ථික සංවර්ධන නිලධාරීවරයාට එම ඉල්ලූම් පත්‍රයේ අත්සන් තැබීමට වත් ස්ථානයක් වෙන්කර නොමැත. තවද ග්‍රාමීය කමිටුව කැඳවීමට අවස්ථාව නිර්මාණය නොකරයි.

මුළු ග්‍රාමීය කමිටුවම ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයාගේ ග්‍රහණයට නතුකර තිබේ. මේ තුළින් රජයේ නිලධාරීන් සෘජුවම දේශපාලන අතකොළුවක් බවට පත්කරමින් සිටී.

රාජ්‍ය සේවය හා එහි නිලධාරීන් නොසලකා සාධාරණ පදනමකින් තොරව පිරිස් තෝරා තම දේශපාලන හිතවතුන්ට රජයේ මුදල් ප්‍රතිපාදන ලැබීමට සැලැස්වීම සඳහා කටයුතු කරමින් සිටී.

මෙම තත්වය වහාම වෙනස්කර ආර්ථික සංවර්ධන නිලධාරීන්ට රාජ්‍ය නිලධාරියෙකු ලෙස ස්වාධීනව අපක්ෂපාතීව රාජකාරී කිරීමට ඉඩ ප්‍රස්තාව සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.