දුම්රිය දුර ගමන් සේවා නැවතත් හදිසියේ අවලංගු කරයි

දුම්රිය දුර ගමන් සේවා නැවතත් හදිසියේ අවලංගු කරයි

වසර කිහිපයක් නතර කර දමා තිබූ දුර ගමන් සේවා දුම්රිය නිසි ලෙස මේ වනතුරු ආරම්භ කිරීමට දෙපාර්තමේන්තු බලධාරීන් අපොහොසත් ව ඇත. කොවිඩ් මුවාවෙන් යටපත් කොට සිටි මෙම කාරණාවේ ඇත්ත දැන් හෙලිවෙමින් පවතී.. මඟීන් වෙනුවෙන් දුම්රිය ධාවනය කරන ලෙස ඉල්ලා දැඩි වෘත්තිය අරගලයක යෙදීමට ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට සිදුවිය.

මේ හේතුවෙන් නිහඬව කල් මැරීමට නොහැකි වූ පාලනාධිකාරිය දුර ගමන් සේවා වන කොළඹ කොටුව/බදුල්ල රාත්රී තැපැල් ,බෙලිඅත්ත වව්නියාව රජරට රැජින, කොළඹ කොටුව - මඩකළපුව , කොළඹ කොටුව - ත්රීකුණාමලය තැපැල් දුම්රිය 2021/12/27 වනදින ආරම්භ වන බව 2021 දෙසැම්බර් මස 25 වන දින රාත්රී 07:00 ට නිවේදනය කලේය. එසේ සැලසුම් වුවත් එය 2021/12/27 වන දින පස්වරු 03:40 ට නිවේදනයක් නිකුත් කරමින් අවලංගු කිරීමට කටයුතු කිරීම තුලින් තම ගමන් බිමන් සූදානම් කරගත් මඟීන් දුම්රිය ස්ථානය වෙත පැමිණ දැඩි දෝෂාරෝපණ එල්ල කලේ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය අපසසුතාවට පත් කරමිනි. එය මඟියාගේ පැත්තෙන් සාධාරණය ,මක් නිසාද 27 වන දින සේවය අවලංගු වීම එදින පස්වරුවේ දැනුම්දීම කොතෙක් දුරට සඳාචාර සම්පන්නදැයි නැවතත් පාලනාධිකාරිය සිතිය යුතුව ඇත.නැවතත් අවලංගු කල දුම්රිය නව වසර ආරම්භයේ පලමු දින සිට ක්රියාත්මක කරන බවට 2021/12/30 වන දින නිවේදනයක් මඟින් පුලුල් ප්රචාරයක් ගෙන ගිය අතර එය නැවතත් දෙවනදා දක්වා කල් දැමීය.
 
මේ වන විට දෙවනඳාත් ආරම්භ කර ගැනීමට දෙපාර්තමේන්තු පාලනාධිකාරිය අපොහොසත් වී ඇත. එය නැවත 2022/01/10 වන දින අරඹන බවට 2022/01/07 වන දින නිවේදනය විය.එම නිවේදනයද මඟීන් අපහසුතාවට පත් කරමින් 2022/01/09 පස්වරු 04:15 නිවේදනයක් මඟින් 12 වනඳා තෙක් කල් දැමීය.මෙසේ මඟී ජනතාවගේ ගමන් බිමන් විහිලුවක් වී ඇති පාලනාධිකාරයට නිසි පරිදි සැලසුම් නොකිරීම හේතුවෙන් 12 වනඳා ධාවනය වීමට නියමිත දුම්රිය අතුරින් කිහිපයක් අවලංගු කරන බවට පස්වරු 12:15 ට එදින ප්රකාශයට පත් කලේ මඟීන්ව හෑල්ලුවට ලක් කරමිනි.. තම ගමන් බිමන් සැලසුම් කර ගත් මඟින් ඉතා සතුටින් දුම්රිය ස්ථාන වෙත පැමිණි පසු එය අවලංගු බව දැනුම්දීමේදී කාර්ය මණ්ඩලය අතර අනවශ්ය ගැටුම් නිර්මාණය කරන්නේ පාලනාධිකාරියයි..
 
දුම්රිය රියදුරු සහයකයින් ගේ අඩුවක් පැවතීම හේතුවෙන් ඔවුන් නොමැතිව දුම්රිය ධාවනය සිදු කීරීමට නොහැකි බව ඔවුන් දන්වා සිටී. කෙසේ වෙතත් ගැටලු වලට නිසි විසඳුම් ක්රියාත්මක නොකොට දිනෙන් දින කල් දමමින් මඟීන් අපහසුතාවට පත්වන අයුරින් මෙසේ පාලනාධිකාරය ගෙනයන අවිධිමත් වූ වැඩ පිලිවෙලට දැන්වත් තිත තැබිය යුතුව ඇත. මෙසේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය වශයෙන් අපගේ බලවත් විරෝධය පාලනාධිකාරය වෙත එල්ල කර සිටින අතර මෙසේ දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීමේ සම්පූර්ණ වගකීම ඔවුන් බාර ගත යුතු බවට තව දුරටත් දන්වා සිටිමු.
 
 
ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය

2022.01.12