රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමෙන් බරපතල වැටුප් විෂමතාවයත් ඇති වෙලා

රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමෙන් බරපතල වැටුප් විෂමතාවයත් ඇති වෙලා

රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක වීම අත්හිටුවීම හා ගුරු වැටුප් සංශෝධනය හේතුවෙන් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට අදාලව ඇති වන බරපතල වැටුප් විෂමතාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීම්ක කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට අදාල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවාව, මේ වන විට බඳවා ගනු ලබන්නේ විශේෂවේදී සිව් අවුරුදු වෘත්තීමය උපාධියකින් වන අතර ඖෂධවේදී, විකිරණ විද්‍යා තාක්ෂණවේදී සහ වෘත්තීය චිකිත්සක සේවාවන් සඳහාද එවැනිම වෘත්තීමය උපාධියකින් සහ උසස් ඩිප්ලෝමාවකින් සේවාවට බඳවා ගනු ලබයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන මට්ටම් වර්ගීකරණයට අදාල SLQF වර්ගීකරණයේ 6 වැනි මට්ටමේ පවතින මෙම වෘත්තීමය උපාධි විද්‍යාත්මක සේවාවන්ට අදාල අධ්‍යාපන සුදුසුකම් වලට සමාන හෝ ඉහල අධ්‍යාපන මට්ටමක පවතී. ජාතික වැටුප් ප්‍රතිපත්තිය ලෙස සැලකෙන 06/2006 වැටුප් චක්‍රලේඛයෙහි SL වැටුප් කේතය යටතේ වර්ගීකරණය විය යුතු මෙම සේවාවන් වෛද්‍ය පරිපාලනයේ ඇතැම් මැදිහත්වීම් හේතුවෙන් එවකට MT වැටුප් කේතය යටතේ හෙවත් තාක්ෂණික සේවාවන් යටතේ වර්ගීකරණය කොට විශාල අසාධාරණයක් සිදු කරන ලදී.

02. අංක 03/2016(IV) දරණ 2022.01.05 දිනැති වැටුප් චක්‍රලේඛය අනූව මෑතකදී සිදු කරන ලද ගුරු වැටුප් සංශෝධනය මඟින් බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් වර්ගීකරණයට අනූව අපොස උසස් පෙළින් බඳවා ගන්නා ගුරු වැටුපද වෘත්තීමය උපාධි හා උසස් ඩිප්ලෝමා මට්ටමට සමාන්තරව ස්ථානගත කර ඇති අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 මඟින් ගුරුවරුන්ට එහා ගිය වැටුප් විෂමතාවයකට ලක් කොට තිබූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහා අදාල එම වැටුප් විෂමතාවය නිවැරදි නොකිරීමෙන් අප වෘත්තීමය සේවාවන් බරපතල අසාධාරණයකට ලක්ව තිබේ.

03. ගුරු සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමම මෙම ගැටළුවට විසඳුමක් ලෙස ඇතැම් පාර්ශ්වයන් රජය නොමඟ යවා ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අනූව අංක 2262/45 දරණ 2021.01.13 දිනැතිව නිකුත් කල ගුරු සේවාව සංවෘත සේවාවක් කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම වැටුප් අසාධාරණය සමථයකට පත්වීම වෙනුවට එය තවදුරටත් තීව්‍ර වී ඇත. සංවෘත සේවාවක් කිරීම පිළිබඳව මුල්ම ඉල්ලීම සිදු කරන ලද්දේ අප සේවාවන් වන අතර එය නෙසලකා හැර ගුරු සේවාව පමණක් සංවෘත කිරීමෙන් තවදුරටත් මෙම ගැටළුවේ යථා ස්වාභාවය අවබෝධ කර ගැනීමේ අපේක්ෂාවක් නොමැති බව තහවුරු වේ.

04. සෞඛ්‍ය සේවාව මෙතෙක් සංවෘත සේවාව නොවුනද පරිපූරක වෛද්‍ය සේවාවට අදාල වෘත්තියක් හෝ ඊට අදාල සේවා ස්වභාවයක් වෙනත් කිසිඳු සේවාවක නොමැති බැවින්, සංවෘත සේවාවක් කිරීම හරහා සේවාවන්ගේ සමාන්තර බැඳීම් නොසලකා හැරිය හැක්කේ නම්, පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ අධ්‍යාපන හා වෘත්තීමය අනන්‍යතාවයන්ට අනූව අදාල වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට ඉතා පහසු හැකියාවක් පවතී. ගුරු වෘත්තියට අදාලව පැවති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට රජය විසිනු ගනු ලැබූ තීන්දුවට අප කිසිසේත් විරෝධය පළ නොකරන නමුත් ඊට සමාන්තරව බඳවා ගැනීමේ ක්‍රමවේදයට හෝ උපයාගත් අධ්‍යාපන මට්ටමට මෙන්ම සේවාවේ අනන්‍යතාවයට ගැළපෙන පරිදි පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැටුප යාවත්කාලීන නොකිරීමෙන් ගොඩනැඟී ඇති මෙම වැටුප් අසංගතිය හේතුවෙන් අප සේවාවන්ගේ අනන්‍යතාවය විශාල අභියෝගයකට ලක්ව ඇත.

උක්ත කරුණු පිළිබඳව න්‍යායාත්මක සාකච්ඡාවක් සිදු කිරීම සඳහා දේශපාලන ප්‍රතිපත්ති තීරකයන් වෙත ඊට අදාල නිවැරදි න්‍යායාත්මක තොරතුරු වැටුප් කොමිෂන් සභාව වැනි පාර්ශ්වයන් විසින් නිවැරදිව ලබා දී ඇත්ද යන්න පිළිබඳව බරපතල සැකයක් අප තුල පවතින බැවින් ගැටළුවට විසඳුම් ලබා දීම කෙසේ වෙතත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේ බරපතල වගකීමක් ඔබට ඇති බව අප තරයේ විශ්වාස කරමු. මීට අදාලව වැටුප් පිළිබඳ සංසංධනාත්මක වාර්තාවක් මීට යාකොට ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

රට මුහුණ පා සිටින බරපතල මූල්‍ය අර්බුධය පිළිබඳව රටේ වගකිවයුතු වෘත්තීයවේදී පාර්ශ්වයක් ලෙස අපට නිසි අවබෝධයක් පවතින අතර බරපතල පීඩාවන් රැසකට යලි යලිත් නිරාවරණය වී ඇති රටේ මහජනතාව වැඩවර්ජන මඟින්ද නැවත නැවතත් පීඩාවට පත් කිරීම සිදු කල නොහැකි නමුත් වගකිවයුතු පාර්ශ්වයන් විසින්ම අප වෘත්තීන් පත් කර ඇති බරපතල අර්බුධය තවදුරටත් නොසලකා හරිමින් සිටින්නේ නම් අපට වෙනත් විකල්පයක් නොමැති බවද ඔබගේ කාරුණික අවධානයට ලක් කරන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමි.