හෝටල් සේවක අර්බුදයට විසඳුමක් කම්කරු ඇමතිවරයාගෙන් ඉල්ලයි

හෝටල් සේවක අර්බුදයට විසඳුමක් කම්කරු ඇමතිවරයාගෙන්  ඉල්ලයි

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ හෝටල් සේවකයා තම දෛනික ජීවිතය පවත්වාගෙන යාමේදී ඉතා දුෂ්කරතාවයකට මුහුණපා තිබෙන බවත්, ඒ සඳහා හෝටල් සේවක ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් කම්කරු අමාත්‍යවරයා වෙත හෝටල් සේවක මධ්‍යස්ථානය ලිපියක් ඉදිරිපත් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

මේ වනවිට රට තුල පවතින දැඩි ආර්ථික දුෂ්කරතාවය හමුවේ සියලූ හෝටල් සේවකයින් ඉතා අසීරුතාවයකට පත්ව ඇත. පාස්කු ප්‍රහාරයක්, කොරෝනා වසංගත තත්වයත් නිසා මෙම සේවකයින් වසර 03 ක් තිස්සේ දිනෙන් දින මුහුණපාමින් සිටින ගැටළු තව තවත් උත්සන්න තත්වයකට පත්ව ඇත.

මෙම සේවකයින් හට සාධාරණය ඉටුකර දීම සඳහා අප සංගමය විවිධ ලෙසින් ඔබ රජයේ අවධානය යොමු කිරීමට නොයෙකුත් උත්සාහයන් ගනු ලැබුවද, ඒ සඳහා කිසිදු පිළිගත හැකි සාධාරණ පියවරක් මේ වනවිට ද රජය විසින් ලබාදී නොමැත.

රාජ්‍ය හා විශ්‍රාමික සේවකයින් වෙනුවෙන් ඔබ රජය රු.5000/= ක දීමනාවක් ලබාදීමට පියවර ගනු ලැබුවද පෞද්ගලික අංශයේ සේවකයන් හට එය ලබාදීම මුළුමනින්ම අමතක කර ඇත.

මාසිකව ඉතාම අඩු මූලික වැටුපක් ලබන හෝටල් සේවකයා තම දෛනික ජීවිතය පවත්වාගෙන යාමේදී ඉතා දුෂ්කරතාවයකට මේ වනවිට මුහුණපා තිබේ.

මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ දැඩි අවධානය යොමු කර ඔබ රජයේ මැදිහත් වීමෙන් පහත සඳහන් හෝටල් සේවක ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙස මෙයින් අප සංගමය ඉල්ලා සිටින්නෙමු.

හෝටල් සේවක ඉල්ලීම්

  1. රු. 5000/= ක දීමනාව හෝටල් සේවකයින් වහාම ලබාදීම,
  2. සේවකයින් ලබාගත් බැංකු ණය පොලී සහ දඩ රහිතව කාලය දීර්ඝ කිරීම,
  3. සේවා ගාස්තු වැටුපේ කොටසක් ලෙස සැලකීමට පියවර ගැනීම,
  4. කැඩුම් බිඳුම් සේවා ගාස්තුවෙන් අයකිරීම වහා නැවැත්වීමට පියවර ගැනීම,
  5. නීති විරෝධි ස්ප්ලිට් සේවාව අහෝසි කිරීම,
  6. කොරෝනා වසංගත තත්වය උපයෝගි කර ගනිමින් හෝටල් සේවක රැකියා අහිමි කිරීම නැවැත්වීම.