අලුත්ම බදු පනත ගැන වෘත්තීය සමිති කියන්නේ මොනවාද?

 අලුත්ම බදු පනත ගැන වෘත්තීය සමිති කියන්නේ මොනවාද?
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මේවන විට සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව ඇතුළු රජයේ ප්‍රධාන පෙළ ආදායම් උපයන හා කළමනාකරණය කරනු ලබන රාජ්‍ය ආයතන ගණනාවක විෂය පථයන් ඒකාබද්ධ කරන ඒකකයක් වෙත බලය පවරාදෙමින් ‘විශේෂ භාණ්ඩ හා සේවා බද්ද’ක් වෙනුවෙන් පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. එය පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. මෙය සෘජුවම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම මෙන්ම දේශපාලන ඇඟිලිගැසීම් සඳහා ඉඩකඩ විවර කරගන්නා අවස්ථාවක් බැව් ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවල අදහසයි. මෙම පනත් කෙටුම්පත  දෙවෙනි වර කියැවීම එළඹෙන පෙබරවාරි 10 වන දින සිදුකිරීමට නියමිතය.
 
සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරමින් එහි විධායක සභික කේ.කේ එස් දර්ශන පවසන්නේ මේ පනත් කෙටුම්පත නීතියක් වුවහොත් 'මුදල් බැර වෙන්නේ පුද්ගලික ගිණුමකට' බවයි. ඒ් පිළිබඳ ඔහු වසිස්තරාත්මකව මෙසේ පවසයි.
 
"මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙන මේ නව බදු පනත් කෙටුම්පත මඟින් රජයට එකතු වන බදු ආදායම් බැර වන්නේ පෞද්ගලික ගිණුමකටයි. මත්පැන්, සිගරට්,වාහන, විදුලි සංදේශ සේවා, ඔට්ටු හා සූදු බදු, කැෂිනෝ බදු ඇතුළු බදු වර්ග ගණනාවක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් වශයෙන් නම් කර වෙනම පනත් කෙටුම්පතක් සම්මත කර භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක්ගේ අධීක්ෂණයෙන් විශේෂ ඒකකයක් යටතේ පරිපාලනය කිරීමටයි එම පනත් කෙටුම්පත සකස් කරලා තියෙන්නෙ. මේ වන තෙක් මෙතෙක් එම බදු ආදායම් ලබාගෙන රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබුවේ දේශීය අදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වන අතර නව පනත් කෙටුපතින් එම ආයතන ඉවත් කරලා තියෙනවා. 
 
මේ වන විට එම නව බදු ප්‍රතිපත්තියට දේශීය ආදායම් දෙපාර්තමේන්තු සහ රේගු දෙපාර්තමේන්තු වෘත්තීය සමිතිත් දැනට විරෝධය පළ කර තිබෙනවා. මෙතෙක් කල් නිසි ලෙස බදු ආදායම් එකතු කළ රජයේ දෙපාර්තමේන්තු තුනම ඉවත් කර වෙනත් ආයතනයකට එය පැවරීම කොතරම් විනිවිදභාවයක් පවතීද කියලා සැක සහිතයි. 
නව පනත මඟින් ලැබෙන බදු ආදායම් අවම වශයෙන් බැර වන්නේ නිලධාරියාගේ තනතුරට අයත් ගිණුමකට නොව පෞද්ගලික ගිණුමකටයි. ඒ ගැන රටට  කොතරම විශ්වාසයක් තියාගන්න හැකිද කියන එක සැක සහිතයි."
 
මේ අතර දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති, සරත් අබේරත්න පවසන්නේ මෙමගින් බදු මුදල්   අවභාවිතාවීම වැළැක්විය නොහැකි බවයි.
 
ඔහු ඒ් පිළිබඳ වඩාත් විස්තර කියා සිටියේ මෙි අයුරිනි.
 
"සාමාන්‍යයෙන් බද්දක් අය කරන කොට ඒ බද්ද පැනවෙන්නේ කුමක් පදනම් කරගෙනද කියන එක අත්‍යවශ්‍යයි. ලාභයද, ආදායමද, එකතු කළ අගය මතද කියන එක පැහැදිලි විය යුතුයි. ඒ මේ පනතේ ඒක නෑ. මේ වෙද්දිත් ‘විශේෂ භාණ්ඩ හා සේවා බද්දක්’ අය කෙරෙනවා. ඒ නමින් බද්දක් තියෙද්දි ඒ නමින්ම තවත් බද්දක් අය කිරීමක් ලෝකයේ කොහේවත් සිද්ධවෙන්නෙ නෑ. ඕනෑම බද්දක සීමාවක් තියෙනවා. ඒ කියන්නෙ මෙන්න මේ සීමාවෙන් එහා තමා බද්ද අය කරන්නේ කියලා. ඒත් මේකෙ එහෙම එකකුත් නෑ. මේක භාණ්ඩාගාරයේ ලේකම්වරයෙකු යටතේ ඇති කරන ඒකකයක්. මේ කමිටුවට බඳවා ගන්නේ මුදල් අමාත්‍යංශයට සම්බන්ධිත ආයතනයක හෝ දෙපාර්තමේන්තුවක අය කියලා. එතකොට මුදල් අමාත්‍යංශය යටතේ පවතින ව්‍යාපෘතිවල සේවය කරන අයටත් ව්වෘතයි. තාවකාලික පදනම මත සේවය කරන එහෙව් අය මේසා වැදගත් තැනකට පත් කළාම ස්ථීර සේවකයින් වගේ නෙවෙයි. ඕන වෙලාවක මාරුවෙලා යන්න පුළුවන්. විශේෂයෙන් මූල්‍යමය බලතල කියන්නේ දැඩි විශ්වාසයකින් හා වගකීමකින් කටයුතු කළ යුතු දෙයක්. 
                           
රාජ්‍ය ආයතන ව්‍යුහයක බලාධිකාරියකින් තොරව පුද්ගලික ගිණුමකට මුදල් යාමෙන් ඒ පුද්ගලයාට ඕනම මොහොතක එම මුදල් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ ගිණුම් හිමියා පාර්ලිමේන්තුවට වග කියනවාද, රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළයිද කියලා කොතැනකවත් කියැවෙන්නෙ නෑ. එතකොට මේ රටේ මිනිසුන්ගේ බදු මුදල් අවභාවිතා වෙනවා යයි කියන එක හංගන්න දෙයක් නෑ. මේ ඒකකයට බඳවා ගනු ලබන අයගේ වෘත්තීය සුදුසුකම් මොනවාද කියන එක ගැනවත් සඳහනක් නෑ."
 
මීට අමතරව  සමස්ත ලංකා රේගු සේවා සංගමය නියෝජනය කරමින් එහි සභාපති ඇන්ටන් ප්‍රියශාන්ත පවසා සිටියේ මෙය, 'පරාජය කළ යුතුම අත්තනෝමතික පනත් කෙටුම්පතක්' බවයි.ඒ් බැව් යළි යළිත් අවධාරණය කරමින් ඔහු මෙසේද සඳහන් කළේය.
 
Customs
 
"රටේ බදු අය කරන්නේ විධිමත් ආයතන තුනක් සංස්ථාපනය කර තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. එහෙම තියෙද්දී මේ පනතෙන් කරන්නේ ඒ ආයතකින ව්‍යුහයෙන් වෙන්වූ දේශපාලන පක්ෂයකින් පත්වන ඇමතිවරයෙකුගේ කාර්යාලය ළඟ තැනකට එයාගෙ නිලධාරියෙක් දාලා විශාල බදු එකතුවෙන විෂයන් පවරා ගැනීමයි. මේකෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙනවා. රේගු දෙපාර්තමේන්තුවේ විෂයෙන් ගත්තම ප්‍රධාන වශයෙන් දුම්වැටි, මත්පැන්, වාහන හා වාහන එකලස් කිරීම ආදී විෂයන්වලට අදාළ බදු තමා අයිති වෙන්නෙ. වාහන විෂය ගත්තම ලංකාවෙ විශාල බදු ප්‍රමාණයක් අය වෙන ක්ෂේත්‍රයක්. පිටරටින් ගේන වාහනයකින් සියයට 300ක් බදු අයකරනවා. එතකොට වාහන එකලස් කිරීම කියන්නේ වෙනම කාරණයක්.
 
ලංකාවේ වාහන ගෙන්වන කුප්‍රකට ව්‍යාපාරිකයෙක් වාහනය දෙකට කපලා,  කන්ටේනර් තුන හතර එකට ගෙනල්ලා මෙහෙදි හයි කරලා පාරට දානවා. ඒක ජාවාරමක්. මේ ජාවාරම නීතිගත කරන්න යන වග අපට දැනගන්න ලැබිලා තියෙනවා. මේ ජාවාරම් නීත්‍යනුකූල කරන මෙම උත්සාහය , ආයතන තුනක් හැටියටත්, රාජ්‍ය නිලධාරීන් හැටියටත් පරාජය කළ යුතු අත්තනෝමතික පනතක්. "
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි