අමාත්‍ය අලි සබ්‍රිගේ ප්‍රකාශයට ජාතික වෘත්තිය සමිති පෙරමුණේ විරෝධය

ali-zabri

වැඩකරන ජනතාව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහනම් කළ යුතු බවට, හැට නව ලක්ෂය ප්‍රමුඛ මෙරට සමස්ථ ජනතාවගේ අප්‍රසාදයට හා පිළිකුලට දිනෙන් දින වේගයෙන් ලක්වෙමින් තිබෙන වර්තමාන ගෝඨාභය ආණ්ඩුවේ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා ගුවන් විදුලි නාලිකාවකට කර ඇති ප්‍රකාශය ජාතික වෘත්තීය සමිති පෙරමුණ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර අලි සබ්‍රී මහතාට බලවත් අප්‍රසාදය පලකරන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් කියා සිටින්නේ,

රටේ ජනතාවගේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ අනෙකුත් නීති හා අණපනත් මගින් තහවුරු තර ඇති වෘත්තීය සමිති අයිතිවාසිකම් මෙන්ම මූලික කේවල් කිරීමට ඇති අයිතිය පිළිබඳ රටේ ජනතාවගේ යුක්තිය පසිඳලන නීතිය භාර අමාත්‍යවරයා දක්වන ස්ථාවරය ජුගුප්සා ජනක වේ.

රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් නොවූ වන්දිභට්ටකම් කිරීම මූලික සුදුසුකම වීම හේතුවෙන්, පිනට ඇමති වූ අලි සබ්‍රි මහතාට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් නොවූවද වැඩ කරන ජනතාව ඇතුළු අනෙකුත් සාමාන්‍ය මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඉඩහසර ඉතා වැදගත් හා අත්‍යවශ්‍ය කරුණක් බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පෙන්වා දීමට කැමැත්තෙමු.

අන්ත දක්ෂිණාශික වූ ජේ.ආර්.ජයවර්ධන පාලනය 1980 දී මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය බිමට සමතලා කොට විනාශ කර දැමීමට උත්සහ කළ ද වෘත්තීය සමිති ව්‍යාපාරය මරා දැමීමට නොහැකි  වූ බවත් අද දවසේ වඩා පන්නරයෙන් යුතුව ක්‍රියාත්මක වන බවත් අලි සබ්‍රි මහතා මෙන්ම ගෝඨාභය ආණ්ඩුව සිහිතබා ගත යුතු බව මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරයේ කොටස්කරුවන් ලෙස අපි කියා සිටිමු.

අතගැසූ සියලු වැඩවලින් හත්පොළේ ගා ගෙන ඇති ගෝඨාභය ආණ්ඩුව වෘත්තීය සටන් වලට එරෙහිව සාමාන්‍ය මහජනතාව උසිගන්වා තමන්ට එල්ල වී ඇති පීඩනයෙන් සහ අප්‍රසාදයෙන් ගැලවීමට ගත් බොළඳ සහ ලැජ්ජා සහගත උත්සාහයක් ලෙස ජාතික වෘත්තීය සමිති පෙරමුණ අමාත්‍යවරයාගේ එකී ප්‍රකාශය පිළිකුලෙන් යුතුව බැහැර කරන්නෙමු.

වර්තමාන ආණ්ඩුවට ගැති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අදාළ ප්‍රකාශය ඉවසා සිටීමෙන් තම ගැතිභාවය පෙන්වා සිටිය ද මෙරට ප්‍රගතිශීලී වෘත්තීය සමිති ව්‍යපාරය එකී මුග්ද හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශය නොඉවසන බව පෙන්වා දෙන ජාතික වෘත්තිය සමිති පෙරමුණ, අමාත්‍යවරයාගේ එකී ප්‍රකාශය සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කිරිම ඇතුලු  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු හා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණයෙන් කියා සිටිමු.