සාකච්ඡා අසාර්ථකයි - සුව සේවා වර්ජනය අඛණ්ඩයි

සාකච්ඡා අසාර්ථකයි - සුව සේවා වර්ජනය අඛණ්ඩයි
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අඛණ්ඩ වර්ජනයේ නිරත හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් හි වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබේ. 
 
ඒ හේතුවෙන් සිය වර්ජනය අඛණඩව තවදුරටත් සිදුකරන බව එම වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කරයි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද දහවල් පැවති මෙම සාකච්ඡාවට වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවල නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්හි වෘත්තීය සමිති 18ක් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.
 
සතියක් ඇතුළත තම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදුනහොත් දැනට වර්ජනය ක්‍රියාත්මක නොවන පිළිකා, ළමා සහ කොවිඩ් රෝහල්වලත් වර්ජන අරඹන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා අනතුරු අඟවයි.
 
වෘත්තිය සමිති 18ක් ඊයේ සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන අතර මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක සේවා කටයුතුවලට අදත් දැඩි බලපෑම් එල්ල විය.
 
කෙසේ වුවත් පිළිකා රෝහල්, ළමා රෝහල් සහ කොවිඩ් රෝහල් ඇතුළු රෝහල් 10ක මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන නමුත් සිය ගැටළුවලට සතියක් ඇතුළත කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී එම රෝහල්වලද වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන බවයි වර්ජනයේ නිරත වෘත්තීය සංගම් පවසයි.
 
මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ සිය ඉල්ලීම්වලින් කරුණු 4ක් සඳහා මේ වනවිටත් එකඟත්වය පළ වී ඇති පසුබිමක මෙම වර්ජන ක්‍රියාමාර්ගය අසාධාරණ බවයි.
 
එමෙන්ම ඉතිරි ගැටලු සඳහා ද විසඳුම් ලබාදීමට පොරොන්දු වී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියි.
 

මේ අතර වර්ජනයේ නිරත වෘත්තිය සංගම් අද පෙරවරුවේ කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අතර පසුව ඔවුන් පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගමන් කරන ලදී.