වැඩ ලක්ෂේ පෙන්නලා පෞද්ගලික අංශයේ සේවකයගෙ අර්ථසාධකේට අත තියන්නයි ආණ්ඩුව සූදානම් වෙන්නෙ

වැඩ ලක්ෂේ පෙන්නලා පෞද්ගලික අංශයේ සේවකයගෙ අර්ථසාධකේට අත තියන්නයි ආණ්ඩුව සූදානම් වෙන්නෙ

පහුගිය අයවැයේ මුදල් අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කලා රුපියල් බිලියන 02කට වඩා ලාභයක් ලබල තියෙන සමාගම් වලින් 25% ක බද්දක් අධිභාරයක් ලෙස අය කරනවා කියලා. ඔවුන් මේක ඉදිරිපත් කලේ සමාගම් වලට අදාලව කියලයි කිව්වෙ. නමුත් 2017 සමාගම් පනත යටතේ සමාගම් ගැසට් කරන වෙලාවේ අර්ථසාධක අරමුදලත් ඒ වගෙම සේවක භාරකාර අරමුදලත් එවගේම විශ්‍රාම පාරිතෝෂික අරමුදලත්මේ අරමුදල් තුනම මේ සමාගම් පනතට අයත් කරලයි ගැසට් කළ තියෙන්නෙ. ඒ අනුව බැලුවම පස්සේ අවසානයේ සිද්ධ වෙන්න යන්නේ මේ රටේ ප්‍රධාන විශාලතම අරමුදල වුණු රුපියල් බිලියන 3000කට වඩා ඇති, වාර්ෂිකව රුපියල් බිලියන 250 ත් 300 ත් අතර ඒ අරමුදල හරහා ලබාගන්න ඉපයීම් තියෙන මේ අරමුදලට තමා ආණ්ඩුවක් තට්ටු කරන්න යන්නේ. අපි දැක්කා ආණ්ඩුව පහුගිය දින කිහිපයේ ප්‍රකාශ කරනවා වැඩ ලක්ෂයක් කරනවා කියලා රට පුරා ගම් වල. ඉතිං ආණ්ඩුව මේ ගමේ සුදිය දාන්න ලෑස්ති වෙන්නෙ මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අයිතිය වුණු අර්ථ සාධකේ කොල්ලකාලයි බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව මහතා (08) දින බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට මහජන අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් අතරතුර දී මාධ්‍යයට අදහස් දක්වමිනි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පහුගිය කාලේ ආණ්ඩුවට බැරි උනා කොන්ද කෙලින් තියන් කියන්න පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න කියලාවත්. දැන් පෞද්ගලික ආයතන හිමිකරුවන රුපියල් පන්දහක් වත් වැටුප් වැඩි කරන්න බෑ කියල ප්‍රකාශ කරල තියෙනවා. හැබැයි පහුගිය අවුරුද්දේ රුපියල් බිලියන 15 ක වාර්තාගත අපනයන ආදායමක් ලබලා තියෙනවා. ඒක ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම.

ඒ අපනයන ආදායම ලැබූවේ ඇඟළුම් කර්මාන්තශාලාවල, ආයතනවල වසංගතය හරහා රෝගී වෙද්දී ඒ සේවක සේවිකාවෝ නොමැරී මැරෙද්දී. එතරම් ලාභයක් ගනිද්දීත් අඩුම තරමේ ඇඟලුම් සේවක සේවිකාවන්ගේ වැටුප වැඩි කරන්නත් ආණ්ඩුව මැදිහත් වුණේ නැහැ. ඒක කතා කරේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන් රාජ්‍ය අංශයේ සේවකයන් සහ වැඩ කරන පංතියේ හැම කොටසක්ම තෙරපුමට ලක් කරමින් ඉන්නවා. ඒ අස්සෙ පෞද්ගලික අංශයේ විශ්‍රාම පාරිතෝෂික මුදල තිබෙන ගිණුමට තමා මේ අත තියෙන්න යන්නෙ. මේක ඉතාම බරපතළ තත්වයක්. අපි මේ රටේ වැඩකරන ජනතාවගෙන් පෞද්ගලික අංශයේ රාජ්‍ය - අර්ධ රාජ්‍ය අංශයේ සියලු දෙනාගේ ඉල්ලනවා ආණ්ඩුව කරන මේ ක්‍රියාවට ඉඩ දෙන්න එපා කියලා. මේකට ඉඩ දුන්නොත් අර්ථසාධක අරමුදල ඉදිරියේදි කොටස්වෙළඳපලට ගෙනියන්න කියන මූල්‍ය අරමුදල යෝජනාවත් ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව නැවත වතාවක් ක්‍රියාත්මක වෙන්න යන්නෙ එදා රොෂේන් චානකලා දිවි පරදුවට තියලා ආරක්ෂා කරපු අයිතියට යි. ඒ වගේම මේ රටේ විශ්‍රාමික රාජ්‍ය සේවකයගේ විශ්‍රාම වැටුපටත් මේ දේම කරන්න ලෑස්ති වෙයි. ඒක තමයි මූල්‍ය අරමුදලේ නියෝගය. මේ සියල්ල වෙනකොට මේ රටේ රාජ්‍ය - පෞද්ගලික අංශ සේවකයන් ආර්ථික අර්බුදයක මැද ජීවත් වෙමින් ඉන්නෙ. තෙල් මිල වැඩිවෙන්නේ මාසෙන් මාසෙට.

උද්ධමනය නොවැම්බර් මාසෙ 11%යි. දෙසැම්බර් 14%යි. ඒක වාර්තාගත උද්ධමනයක්. ජනවාරි මාසේ 14.2%යි. මේ සියල්ල හරහා මේ රටේ රාජ්‍ය සේවය පෞද්ගලික අංශය , වතු කම්කරුවන් මේ සියලු දෙනා අතිවිශාල අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නෙ දවසෙ වියදමවත් කරගන්න බැරුව.

මෙහෙම තියෙද්දියි ආණ්ඩුව මේ යෝජනා ගෙනෙමින් ඉන්නෙ. අපි ඉල්ලනවා වැඩ කරන පන්තියේ සියලු ජනතාවගෙන් මේ තත්වයට එරෙහිව වහ වහාම පෙළ ගැසිය යුතුයි කියලා.