සෞඛ්‍ය සේවයේ ගැටලු විසඳා ගැනීමට සාකච්ඡාවක් ඉල්ලයි

සෞඛ්‍ය සේවයේ ගැටලු විසඳා ගැනීමට සාකච්ඡාවක් ඉල්ලයි

සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු කීපයක් පිළිබඳව ඔබ ඇතුළු රජයේ අවධානය යොමු කරවීම සහ ඒවාට කඩිනම් ස්ථිරසාර විසඳුම් ලබා ගැනීම ගැනීම සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රටේ සාමාන්‍ය ජනයාගේ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවාවට ඉමහත් කාර්යභාරයක් පැවරී ඇත. සෞඛ්‍ය සේවය වෙනුවෙන් රජය විසින් වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය මෙම සේවය පවත්වාගෙන යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර සෞඛ්‍ය සේවය අද වන විට උග්‍ර මානව හා භෞතික සම්පත් හිඟයකට මුහුණ දී ඇත. එසේම සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අදාල නායකත්ව සහ කළමනාකාරිත්වය පිළිබඳවද ගැටලු රාශියක් පැන නැගී ඇත. පැය 24 පුරා අඛණ්ඩව දින 365 පුරා පවත්වාගෙන යන සේවාවක් ලෙස සෞඛ්‍ය සේවාව අද වනවිට බරපතළ අර්බුදකාරී තත්වයකට පත් වී තිබේ. සෞඛ්‍ය කාර්යය මණ්ඩල අතර බලවත් අතෘප්තියක් මෙන්ම නොසන්සුන්තාවක් පැන නැගී ඇති අතර මේවන විට සෞඛ්‍ය සේවාව තුළ ගැටුම් රාශියක් පැන නැගී ඇත. මෙම තත්ත්වය ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යෑමට බාධාවක් වී තිබේ. එමෙන්ම වෛද්‍යවරුන් ලෙස අපද බරපතල ගැටලු රාශියකට මුහුණ දී සිටිමු. එම නිසා සෞඛ්‍ය සේවාවේ පොදු ගැටලු මෙන්ම වෛද්‍යවරුන් වන අප ද මුහුණ දී ඇති මෙතෙක් යාවත්කාලීන නොවූ ගැටලු විසඳීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමු. සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ඉහල නැංවීම අරමුණු කර ගත් පහත සඳහන් යෝජනා පිළිබඳව අප සංගමය මීට පෙරද අවස්ථා කීපයකදී ඔබ අමත්‍යාංශය ඇනුවත් කර ඇති අතර ඒ සියළුම යෝජනා පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලමු.

1. වාර්ෂික අයවැය මගින් සෞඛ්‍ය සේවය වෙනුවෙන් වෙන්කරන ප්‍රතිපාදන ද.දේ.නිශ්පාදිතයෙන් 5% ක් දක්වා ඉහල දැමීම,

2. සෞඛ්‍ය සේවාවේ පවතින උග්‍ර මානව හා භෞතික සම්පත් හිඟයට විසඳුම් ලැබෙන වැඩ පිළිවෙලක් සකස්කර ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා ඖෂධ හා උපකරණ ප්‍රමාණවත් ලෙස  අඛණ්ඩව සැපයීම,

3. රාජ්‍ය සේවයේ සිටින නිළධාරීන් අතුරින් ප්‍රවාහන පහසුකම් අත්‍යාවශ්‍යම නිළධාරී කාණ්ඩයක් ලෙස වෛද්‍ය නිළධාරීන් සැළකිය යුතු බව අවිවාදිතය. 22/99 සහ එහි සංශෝධන චක්‍රලේඛ ප්‍රකාරව රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිළධාරීන් අතරින් වෛද්‍ය නිළධාරීන්ට මෙතෙක් අහිමි නිල වාහන හෝ වාහන කුලිය රු. 50000/= ක් සහ ඉන්ධන දීමනාව රු. 25000/= ක් ලෙස සියළුම වෛද්‍යවරුන් වෙත ලබා දීම,

4. වෛද්‍ය නිළධාරීන් වෙත දැනට ලබාදෙන Disturbance & Availability දීමනාව අවම වශයෙන් රු. 50000/= ක් දක්වා ඉහල දැමීම, (නිල නිවාස සැපයිය නොහැකි බැවින් සහ සාමාන්‍ය ජීවිතයට සිදුකරන බාධා කිරීම වෙනුවෙන්)

5. දැනටද ගෙවනු ලබන අමතර රාජකාරී දීමනාව වෙනුවෙන්  (Extra duty allowance)  General circula no 01-18/2009 චක්‍රලේඛය මගින් පනවා ඇති දිනකට පැය 04 ක් සහ මසකට පැය 120 ක් වන සීමාවන් ඉවත් කර අමතර රාජකාරි ඉටුකරන සම්පූර්ණ කාලය වෙනුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැළසීම,

6. වසර 40 කින් පමණ යාවත්කාලීන නොවූ විශ්‍රාම වැටුප් සහිත දීමනාව සහ විශ්‍රාම වැටුප් රහිත දීමනාව යාවත්කාලීන කිරීම,

7. සෙනසුරාදා, ඉරිදා සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවලදී ඉටුකරන සාමාන්‍ය රාජකාරී වෙනුවෙන් 1/20 දීමනාව ලබා දීම,

8. වැටුප් විෂමතා ඉවත් කර වෛද්‍යවරුන්ට හිමි වැටුප් ලබාදීම, වෛද්‍යවරුන්ගේ උසස්වීම් සහ ස්ථානමාරු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

මේ පිළිබඳව ඔබගේ ඉක්මන් අවධානය යොමුකර උක්ත ගැටළු වහාම විසඳීමට කටයුතු කරන ලෙසත්, එමගින් යහපත් සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමු. මෙම යෝජනාවලිය පිළිබඳව අපගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන මෙන් ඉල්ලමු.