දුම්රියේ පොරොන්දු වූ තීරණ ක්‍රියාත්මක කර නෑ

දුම්රියේ පොරොන්දු වූ තීරණ ක්‍රියාත්මක කර නෑ

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ලෙස ඔබතුමා සමග සාකච්චාවක් කළද, එළඹී තින්දු තීරණ කිසිවක් ක්‍රියාත්මක කර නොමැති අතර, එම ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

කාලයක් තිස්සේ පවතින අකාර්යක්‍ෂම හා දූරදර්ශී නොවන කළමනාකරණය නිසා දුම්රිය සේවයත්, දුම්රිය සේවකයාත් දැඩි අර්බුදයකට පත්කොට ඇති අතර, දිනෙන් දිනම දුම්රිය සේවය පරිහානියට පත්වෙමින් යන බව පෙන්වා දෙමු. 2021. 11. 25 දින දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ලෙස ඔබතුමා සමග සාකච්චාවක් කළද, එළඹී තින්දු තීරණ කිසිවක් ක්‍රියාත්මක කර නැත. මේ තත්වය හමුවේ වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස නිහඬව සිටීමට නොහැකි බව පෙන්වා දෙන අතර, පහත සඳහන් ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරවමු.

  • නව බඳවාගැනීම් පරිපාටි වලට අන්තර් කාලීන විධිවිධාන සංශෝධන ඇතුලත් නොකිරීම නිසා උසස්විම් අහිමි කිරීම,
  • රාජකාරී ආවරණ තනතුරු පුරප්පාඩු පුරවා උසස්විම් ලබාදීම,
  • 7200 කට අධික පුරප්පාඩු වහා පිරවීම,
  • දු. කා. ස. තනතුරු වෙනුවට තාක්‍ෂණ ශිල්පී සහායක තනතුරු වහා ස්ථාපිත කිරීම,
  • සනීපාරක්‍ෂක සේවකයින් හා 09. 01 ස්ථීර කිරීමට නොහකි වූ සේවකයින් වහා ස්ථීර කිරීම,
  • රාජකාරී ස්ථානය හා නිවාස අතර, ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය ගමන් අවසර පත්‍රයක් සියළුම දුම්රිය සේවකයින්ට ලබාදීම,
  • විනය පාලන නීති විධිමත්ව ක්‍රියාත්මක කිරීම,
  • අනුමත ආපදා ණය මුදල් වහා ගෙවීම,
  • දුම්රිය ඉඩම් පවරා ගැනීම්/විකිණීම් වහා නතර කිරීම,
  • දුම්රිය ගොඩනැගිමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීම.

දුර්වල කළමනාකරණය හමුවේ දුම්රිය සේවය හෝ කිසිදු දුම්රිය සේවකයෙකු අගතියට පත්විය යුතු නැත. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කොට කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, එම සාකච්ඡාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු වගකිව යුතු නිලධාරීන් සහ උප දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියළු දෙනා සහභාගි කරවා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමු.

කඩිනම් සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම්, ලිපියේ සඳහන් දින සිට දින 14 ක් ඇතුලත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට පිවිසීමට සිදුවන බව ද අවධාරණය කර සිටිමු.