මනෝමූල සීමාවල හිර වී සිටීම වෙනුවට වෛද්‍යවරුන් සහ නව වෘත්තිකයන් නව මානයන්ගෙන් සිතීමට පටන් ගත යුතුයි - වෛද්‍ය චමල් සංජීව

මනෝමූල සීමාවල හිර වී සිටීම වෙනුවට වෛද්‍යවරුන් සහ නව වෘත්තිකයන් නව මානයන්ගෙන් සිතීමට පටන් ගත යුතුයි - වෛද්‍ය චමල් සංජීව

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනමාධ්‍ය සහ මහා සංඝරත්නයට පිළිගන්වමින් පවසයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පළමු නිල මාධ්‍ය සාකච්ඡාව පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත  හිමි ශාස්ත්‍රපති පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු  ගරුතර මහා සංඝරත්නය වැඩම කර සිටි අතර එකී වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහ  විධායක සභාවේ සාමාජිකයින් අදහසු දක්වමින්  තම වෘත්තිය සමිති සන්ධානය වෛද්‍යවරුන්ගේ වෘත්තීය හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ පොදු මහ ජනතාවගේ සෞඛ්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බව පැවසුහ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළීබද  වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය (MCPA) වෛද්‍යවරුන්ගේ පවතින වෘත්තීය හා සුභසාධක ගැටලු සම්බන්ධයෙන් ද සිවිල් අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ද කටයුතු කරන අතරම වෛද්‍ය සේවයහි  ප්‍රගමනය වෙනුවෙන් අනෙක් වෘත්තීය සමිති  සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් බවත් මේ වනවිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටින අති මහත් බහුතරයක් වෛද්‍යවරුන් මනෝමූලික පීඩනයකට පත්ව තමන්ට රැඳී සිටින සීමා මායිම් වලින් ඔබ්බට නව කරුණු ගැන හෝ තාර්කික කරුණු ගැන සිතීම වෙනුවට ගොපල්ලන් පසුපස ගමන් කරන බැටළු රැසක් මෙන්  කටයුතු කරන තත්ත්වයක් නිර්මාණය වී පැවතීම ඉතා කනගාටුදායක බවත් තමා ඉගෙනගෙන ඇති වෘත්තීය  දැනුම කුසලතා හා ආකල්ප වලින් රටේ ජාතික සංවර්ධනයට දායක වන ලෙස  මෙරට වෛද්‍ය සේවය  ජාත්‍යන්තරකරනයට ලක්කොට විවිධ රටවල පවතින රැකියා අවස්ථා සඳහා පවා සාමාන්‍ය වෛද්‍යවරුන්ට දොරටු  විවර කරගත හැකි මාවතක් නිර්මාණය කර ගැනීමට කටයුතු කළ යුතු බව එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇමතූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.   අද වන විට  රටේ බොහෝ වෛද්‍යවරුන් ඒක පුද්ගල දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීම නිසා මේ වන විට වෛද්‍ය ක්ෂේත්‍රය  සාමාන්‍ය නගර සභාව කම්කරුවාගේ තත්ත්වයටත් වඩා පහළට ඇද වැටී ඇති බවත් ඒ වෙනුවට නවක වෛද්‍යවරුන් වෘත්තීය සීමා ඇතුළේ සිට සදාචාරත්මක ලෙස කටයුතු කරමින්  වෘත්තීය ජාත්‍යන්තරය සමග ගැටී කටයුතු කිරීමට හැකි තත්ත්වයක් දක්වා දියුණු කර ගැනීමට ඉදිරියට පැමිණීය  යුතු බව පැවසීය   

එසේම ප්‍රාදේශීය රෝහලේ සිටින බොහෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු සදහා පවතින සුභ සාධක පහසුකම් ඉතා අඩු මට්ටමක පවතින බවත් විශේෂයෙන්ම නේවාසිකාගාර පහසුකම් සහ තම දරුවන් සඳහා පාසල් ලබා ගැනීමේදී ඇති වන ගැටලු ආදියට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.  දැනට අපේ රටට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබී ඇති අවස්ථාවක දී එකී තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති සකසමින් කටයුතු කළයුතු  අවශ්‍යතාවයක් ඇති අතර  බොහෝ දියුණු රටවල් මෙන් දේශපාලන න්‍යාය පත්‍ර සමග  රැඳී නොසිට  දිගුකාලීන ප්‍රතිපත්ති සකස් කරමින් මානව සම්පත සහ භෞතික සම්පත් දැනුම කුසලතා හා ආකල්ප වැඩි දියුණු කිරීමට කටයුතු කළ බව කටයුතු කළ යුතු බව ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට වැඩම කළ ඇඹිලිපිටිය බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අද වන විට මෙරට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර සම්බන්ධයෙන් මහ ජනතාවගේ දැඩි කලකිරීමක් නිර්මාණය වී පවතින පසුබිමක වෛද්‍යවරුන් සහ ජනතාව යන කණ්ඩායම් දෙකම ඉලක්ක කොට නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් දේශපාලනමය පදනමකින් තොරව ආරම්භ වීම ඉතා සුබදායක ලකුණක් බවයි. අද වන විට බොහෝ ප්‍රාදේශීය වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු මුහුණපාන සැබෑ සුබසාධන ගැටලු සම්බන්ධයෙන් කිසිවකු හඬ නගන අවස්ථාවකදී පංච මහා බලවේග එක් කොට මෙවැනි වෘත්තීය සමිති ව්‍යාපාරයක් නිර්මාණයට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේලා එම සමිති ව්‍යාපාරය නිර්මාතෲ වරුන්ට ආශිර්වාද කරන ලදි. 

මෙම අවස්ථාවට වැඩම කළ අතිපූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ මේ වන ට මෙරට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර දේශපාලනිකරණයට ලක්වීම නිසා ඉතා කනගාටුදායක පසුබිමක් නිර්මාණය වී පවතින බවත් පොදු අරමුණකින් කටයුතු කළ බොහෝ වෘත්තීය සමිති ව්‍යාපාර තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තීය අභිමානය සහ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වලට හානියක්වන ලෙස  කටයුතු කිරීම ඉතා කනගාටුදායක බවත් එවන් පසුබිමක අලුතින් බිහිවූ මෙම වෘත්තීය සමිති සන්ධානය සමඟ තමන් වහන්සේලා සංඝ සමාජයක් ලෙස කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කරන ලදි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අදහස් දක්වමින්  වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර බල්ලගේ වැඩේ බූරුවා කරන අන්දමට මූලික කරුණු අමතක කරමින් කටයුතු කිරීම නිසා වෛද්‍යවරුන්ගේ සැබෑ ප්‍රශ්න යටපත් වී ඇති බවත් ස්වකීය දේශපාලන අවශ්‍යතා සඳහා වෘත්තීය සමිති ව්‍යාපාර භාවිතා කිරීමත් වෛද්‍යවරු ලෙස කටයුතු කරමින් ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් වීමට පවතින සෞඛ්‍ය සේවය ප්‍රගමනයට විශාල වශයෙන් බාධාවක් වී ඇති බව පැවසීය. මෙරට වෛද්‍ය සේවය නූතන තාක්ෂණ උපායන් සමග අත්වැල් බැඳගෙන ගමන්කිරීම ඉතා අත්‍යවශ්‍ය බවත් රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට සියලු පහසුකම් පවතිද්දී ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් කාර්යක්ෂමව කටයුතු නොකිරීම නිසා අදවනවිට අපේ රට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය වී පවතින බවත් පැවසීය. මහජනතාවගේ සේවා අවශ්‍යතා පවතින බැවින් තමන් කිසිවිටකත් රෝගී ජනතාව අමතක කොට සිදු කරන වර්ජන  සඳහා සහාය දැක්වීමට සූදානම් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.  මේ වන විටත් මෙරට සෞඛ්‍ය සේවය තුළ පරිපාලනමය ගැටළු සහ සුභ සාධක ගැටලුද ගුණාත්මකභාවය සම්බන්ධ වන ප්‍රශ්න රාශියක් නිර්මාණය වී පවතින බැවින් තමන් වෘත්තිය සමිති ව්‍යාපාරයක් ලෙස අදාළ කටයුතු සඳහා සම්බන්ධවීමට සූදානම් බව පැවසීය

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍ය වෘත්තිය සමිති සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙහිදී ගරුතර මහා සංඝරත්නය හා  ජනමාධ්‍යවේදීන් වෙත යුතු පිළිගැන්වීම එහි සභාපති වෛද්‍ය චමල් මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට විධායක සභාව නියෝජනය කරමින් වෛද්‍යවරුන් රාශියක් සහභාගී වී සිටියහ. එහිදී අදහස් දැක්වූ විධායක සභාවේ වෛද්‍ය හිරාන් කරසිංහ මහතා ප්‍රකාශ කළේ අදවනවිට වෛද්‍යවරුන්ගේ වැටුප් ගැටලුව බරපතළ විෂමතාවයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත්  උසස් පෙළ සමත් වීමෙන් අනතුරුව ලැබෙන ඉහළ ශ්‍රේණිගත අවස්ථාව වෛද්‍ය වරයෙකු බවට පත්වීමෙන් අනතුරුව අහිමි වී යාම සඳහා වෙනත් රාජ්‍ය සේවා නිලධාරීන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවත් ඒ සඳහා විද්‍යාත්මක කමිටුවක් හරහා ඉක්මනින්ම පිළියම් සකස් කිරීමට තම වෘත්තීය සමිති සන්ධානය දැනටමත් සෞඛ්‍ය ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇති බවයි.