කම්කරු නියෝජිත සමුළුව බල මුළු ගැන්වෙයි

කම්කරු නියෝජිත සමුළුව බල මුළු ගැන්වෙයි
සමස්ත ලංකා එක්සත් වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ 'කම්කරු නියෝජිත සමුළුව' ඊයේ (05) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අති සාර්ථකව පැවැත්විණි.
 
එහිදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය, වැවිලි කර්මාන්ත අංශය, මෙන්ම පොදු කරුණු ඇතුළත් ඉල්ලීම් මාලාවක් පොදු සම්මුතියෙන් ප්‍රකාශයට පත්කෙරුණි.
 
මෙම ඉල්ලීම් මාලාව ඉදිරියේදී තවත් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් යම් අඩුපාඩු ඇතොත් යළි සංස්කරණය කොට රජයට ඉදිරිපත් කිරීමටත්, එම ඉල්ලීම් දිනා ගැනීම සඳහා පුළුල් සංවිධානයක් ලෙස ස්ථාපිත කිරීමටත් යෝජනා විය.
 
1
 
2
 
3
 
මෙම අවස්ථාවට එක්වෙමින් පිළිගැනීමේ කතාව හා අරමුණ පැහැදිලි කිරීම කළ ලංකා කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් හේමාල් විල්බට් කියා සිටියේ වෘත්තීය සමිතිවලට පමණක් මුහුණදෙමින් සිටින ව්‍යසනයෙන් මිදීමට ක්‍රියා කළ නොහැකි බවයි.
 
ඒ් වෙනුවෙන් පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතු  බවත්, එහි නායකත්වය වෘත්තීය සමිති ප්‍රමුඛ කම්කරු ප්‍රජාව විසින් ගත යුතු බවත්, විවිධ පෙරමුණු වල කෙරෙන සටන් එක් පෙරමුණකට ගෙන ආ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
 
මෑතකදී ගුරු සටනේදීත්, වරාය නැඟෙනහිර ජැටිය බේරා ගැනීමේ සටනේදීත්, ‌එකමුතුව ක්‍රියා කළ බැවින් ඒ් ආකාරයේ සහයෝගිතාවකින් ක්‍රියා කිරීම කාලීන අවශ්‍යතාවක් බවත්, වසර 40-50ට ඉහතදී එවන් ඒ්කාබද්ධ අරගලයක් වෙනුවෙන් පොදු මධ්‍යස්ථානයක් පැවති බවත් හෙතෙම සිහිපත් කළේය.
 
මේ අතර මෙම සමුළුවට එක්වූ සමස්ත ලංකා එක්සත් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙම සමුළුවේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා සංගමයේ සභාපති උදේනි දිසානායක කියා සිටියේ මේවන විට රට මුළුමනින්ම ව්‍යසනයකට ඇදවැටී ඇති බවයි.
 
එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
 
'' අද වන විට මේ රටේ අදූරදර්ශි පාලනය විසින් මේ රට ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට ඇද දාලායි තියෙන්නෙ. ගෑස් ටික නෑ. කිරි පිටි, සීනි, තෙල් නෑ. ඒ්වායේ ගණන් හිලව් අහස උසට නඟිනවා. රාජ්‍ය සේවකයින් සේවයට යන අතරවාරයේ, සේවය නිමවා එන අතරේ  එක එක පෝලිම්වල රස්තියාදු වෙනවා. මොළ හතක් ඇති කෙනෙක් ගෙනත් කිසිදු කළමනාකරණයකින් තොරව  සල්ලි අච්චු ගහල, ගහලා රාජ්‍ය සේවකයින්ටත් 5000 ගාණේ ගෙවනවා. ඒ්ත් ඒ් මුදලින් කළ හැකි කිසිදෙයක් නෑ. ඉහළ යන ජීවන වියදම හමුවේ වැඩිවුණු 5000න් කිසි දෙයක් කරගන්න බෑ. අද වෙද්දි ආණ්ඩුවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. නීතියක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. හොරු ටික නඩු ටිකෙන් නිදහස් වේගෙන වේගෙන යනවා. තවත් අපිව රවටන්ඩ බෑ. එක පෙළට හිටගෙන ආණ්ඩුවේ මේ අත්තනෝමතික, අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් පරාජය කළ යුතුයි"