රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරියට ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් එල්ලවන බලපෑම්වලට එරෙහිව උද්ඝෝෂණයක්

රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරියට ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් එල්ලවන බලපෑම්වලට එරෙහිව උද්ඝෝෂණයක්

ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරීවලට දිගින් දිගටම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් සිදු කරන බලපෑම්වලට එරෙහිව 2022 මාර්තු 28 (අද) පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 07ම ඉදිරිපිට දී දහවල් 12ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කර ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, හරිත දැයක් රජයේ අලූත්ම ව්‍යාපෘතියට අදාළව ග්‍රාම නිලධාරී වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් අදාළ නිර්ණායක අනුව ගෙවතු තෝරාගැනීමේ දී ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලඥයින් මැදිහත් වී ආණ්ඩුවට සම්බන්ධ නොමැති පක්ෂවලට සම්බන්ධ පිරිස් තෝරා නොගන්නා ලෙසට බලපෑම් කරමින් පවතී.

හරිත දැයක් ජාතික වැඩසටහනට සමගාමීව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පරාක්‍රම සමුද්‍රය වසමේ තෝරාගත් ගෙවත්තක අදාළ වැඩ සටහන කිරීමට අදාළ රාජ්‍ය නිලධාරීන් කටයුතු සූදානම් කර තිබිය දී පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශීය දේශපාලඥයින් මැදිහත් වී මේ වනවිට අවලංගු කර ආණ්ඩු පක්ෂයට ම සම්බන්ධ පුද්ගලයෙකුගේ ගෙවත්තක් අදාළ උත්සවය සඳහා තෝරාගැනීමට කටයුතු කර ඇත.

මේ ආකාරයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරීවලට දිගින් දිගටම ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයින් සිදු කරන බාධා කිරීම්වලට එරෙහිව හා ඊට විරෝධය දැක්වීමක් වශයෙන් 2022 මාර්තු 28 දින තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට දී දහවල් 12.00ට උද්ඝෝෂණ සිදුකරන බව දන්වා සිටිමු.