“ඇත්ත කියනු - ජන ජීවිත සුරකිනු“ - සත්‍යයේ අවකාශය

ravi-kumudesh

''සත්‍යයේ අවකාශය යනු තවත් සංවිධානයක් නොවේ. එය විවිධ සිවිල් සංවිධාන, වෘත්තීය සංගම්, වෘත්තීයවේදීන්ගේ සංගම් නියෝජනය කරන නියෝජිතයන් හා ස්වාධීන පුද්ගයන් සඳහා වූ එක් පොදු වේදිකාවක් බව එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

එම වේදිකාව ගොඩනැ‍‍ගෙන්නේ, රට මුහුණ දී තිබෙන දරුණු ආර්ථික සහ මුල්‍ය අර්බුදය හමුවේ ඇති වී තිබෙන පුළුල් සමාජ හා දේශපාලන අර්බුදයට පිළියමක් ලෙස ජනතාව සත්‍යයෙන් දැණුවත් කිරීමට ය.

මෙම අර්බුදයේ සැබෑ ස්වරූපය හා එහි ගැඹුර ජනතාවට කීමට ආණ්ඩුව අපෝසත් වූයේය. නියම තොරතුරු ජනතාවගෙන් වසං කළේය. ඒ වෙනුවට, මිථ්‍යාව පැතුරුවේය. විසඳුමක් වෙනුවට පීඩාවම ඇති කළේය. ඒ නිසාම ජනතාව වික්ෂිප්තභාවයටත්, මුලාවටත් පත් වී තිබේ. සැබෑ තොරතුරු ජනතාවට ලබා නොදීම ගැටළුවකි. අර්බුදය මෝරා වැඩීමෙන් ජනතාව පීඩාවට පත්වෙන තැනට අද කටයුතු යෙදී ඇත.

ප්‍රතිඵලය වී ඇත්තේ, ඉතාමත් දුක් පීඩාවන්ට පත්වෙමින් එදිනෙදා ජන ජීවිතය බිඳ වැටීමය. මුළු සමාජයම අසරණභාවයටත් පීඩාවටත් පත්වීමය. ජනතාවගේ ජීවනෝපායන් බිඳ වැටීමය. දෛනික ජීවිතයේ අවශ්‍යතම භාණ්ඩ හා සේවාවන් ලබාගත නොහැකිව, සමාජ අසහනය ඔඩු දුවමින් ජනතාවගෙ වෛරකාරී හැඟීම්ගෙන් මාධ්‍යය උණුසුම් වී ඇත. අසරණයින් මහ මග මිය යමින් තිබේ. අරාජිකබව තියුණු වෙමින් රට දේශපාලන අර්බුදයකට ද, කැරලිකාරිත්වයකට ද යොමු නොවේ යැයි කිව නොහැක. 

එබැවින්, ජනතාවට ඇත්ත කියනු ! ජන ජීවිත සුරකිනු !! යනු සත්‍යයේ අවකාශයේ තේමාව වී ඇත.

මෙම අර්බුදයෙන් රට මුදා ගත යුතුය. ඒ සඳහා පළමුව රටේ ජනතාවට ඇත්ත කියනු! ලෙස ආණ්ඩුවට බල කළ යුතුව ඇත. ඒ සඳහා මෙම පොදු වේදිකාව, සත්‍යයේ අවකාශය ඉදිරියට ක්‍රියා කරනු ඇත. අර්බුදයේ ස්වභාවයත් එහි විවිධ පැතිමානයනුත්, විෂයානුබද්ධ හා විද්‍යානුකූල කරුණු මත විග්‍රහ කිරීමටත් එහි සැබෑ බලපෑම, නොසඟවා රටට කියාපෑමටත් මෙම අවකාශය යොදා ගැනීමට බලාපොරොත්තු වෙමු.

අර්බුදය විසඳීමටත්, ජන ජීවිත සුරැකීමට බලකිරීමටත් අවැසි යෝජනා, අදහස් හා කරුණු ජනතාව ඉදිරියේ තැබීම මෙහි තවත් අපේක්ෂාවකි. මෙම අර්බුදයෙන් රට ගලවා ගැනීමට නම්, පුළුල් සංවාදයක් අවශ්‍යය. සමාජ ක්‍රියාවලියේ විනිවිදභාවය වඩා තහවුරු කළ යුතුව ඇත. මෙම අර්බුදය විසඳීමේදී, ප්‍රජාතන්ත්‍රවාදී ගුනාංග සහ වටිනාකම් තහවුරුවන පරිද්දෙන් ඉදිරිපත් වී ඇති සමාජ-ආර්ථික මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා සාකච්ඡා කිරීමටත් ඒ පිළිබඳ විවිධ පාර්ශවයන් අතර පැණ නැඟී ඇති විශ්වාසයන් මෙන්ම අවිශ්වාසයන් ද සාධනීය ලෙස ප්‍රශ්ණ කිරීමත් සිදුවේ.

ආර්ථික සමෘද්ධිය උදෙසා ද, යුක්තිය හා සමාජ සාධාරණත්වය මත ද මෙකී සංවාදය පෝෂණය කිරීමට සත්‍යයේ අවකාශය සමඟ එකතුවන බුද්ධිමතුන්, සමාජ ක්‍රියාධරයන්, කලාකරුවන් සහ වෘත්තීයවේදීන් බලාපොරොත්තු වන අතර ඒ සඳහා පහසුකම් සැළසෙනු ඇත. තමන්ගේ අනන්‍යතාවය මත නිදහස් අදහස් ඉදිරිපත් කිරීමටත්, පොදු ක්‍රියාකාරකම් මුදා හැරීමටත් සත්‍යයේ අවකාශය පොදු වේදිකාවක් බැව් සැළකුව මනාය. ''

අද දින සත්‍යයේ අවකාශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවට, මහාචාර්ය රොහාන් සමරජීව ( සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය ),රජික කීර්ති තෙන්නකෝන් ( හිටපු ආණ්ඩුකාර ),  නීතිඥ ශිරාල් ලක්තිලක (43 සේනාංක නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය) ,  රවී කුමුදේශ් ( සභාපති සෞඛ්‍ය වෘත්තික සමිති සංධානය) සහ චින්තක බණ්ඩාර (ජාතික වෘත්තීය සමිති පෙරමුණ) යන මහත්වරුන් සහභාගී වූ අතර එහිදී ඔවුන් විසින් දැක්වූ අදහස් පහත ලින්ක් එක මගින් ලබා ගත හැක.