නම්‍යශීලී තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

නම්‍යශීලී තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයන්ගේ ද රටේ අතිමහත් බහුතරයක් ජනතාවගේ ද වෘත්තීය සහ මානව අයිතිවාසිකම්, මෙම තීරණාත්මක අවස්ථාවේ දී කඩ වීමට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටින වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අදාල මානුෂීය අයිතිවාසිකම් දිනපතා කඩ වෙමින් පැවතීම තවදුරටත් එම දේශපාලන අර්බුදය වැඩි වර්ධනයකින් කෙළවර වන තත්වයක් බව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙන අතර, රට තුළ පැන නැගී ඇති ජන අරගලකාරී තත්ත්වය අවබෝධ කොට දේශපාලනික වශයෙන් නම්‍යශීලී තීරණයක් ගන්නා ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, දැනට මාස එකහමාරකට ආසන්න කාල සීමාව මුළුල්ලේ රට තුළ නිර්මාණය වුණු ආර්ථික අර්බුදයේ උග්‍ර අවස්ථාවන් සමඟ ජන ජීවිතයේ එදිනෙදා පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව ප්‍රායෝගික මිනිසකු ලෙස සමාජය දකින ජනාධිපතිවරයෙකු ලෙස ඔබතුමාට අවබෝධයක් ඇතැයි අපි සිතමු. මිනිසුන්ගේ ජීවත්වීමේ අවම මූලික අයිතිවාසිකම් ඉල්ලා මහජනතාව විවිධ ස්ථානවල ජන අරගලවලට පෙළඹී ඇති අතර බොහෝ විට සිදුවන සාමකාමී ජන අරගලවලට හේතුව රට තුළ මේ වන විට නිර්මාණය වී ඇති ආහාර අර්බුදය, ඉන්ධන අර්බුදය, විදුලි බල අර්බුදය සහ සෞඛ්‍ය සේවාවේ ඖෂධ සැපයුම අඩාල වීම ඇතුළු අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධයෙන් ජනජීවිතය මුහුණපා ඇති පීඩාකාරී අර්බුදයන්ය. මිනිසකුට ජීවත්වීම සඳහා අවශ්‍ය කරන මූලික අවශ්‍යතා බිඳවැටීමත් ඔවුන්ගේ දරුවන් සහ සමිපතමයන් එම තත්ත්වයන් යටතේ පීඩාවට පත්වීමත් සමග ඔවුන් සාමාන්‍ය තත්ත්වයන්ගෙන් මිදී ඇතැම් අවස්ථාවන්වලදී දැඩි අරගලකාරී තත්ත්වයට පත්වීම  සම්බන්ධයෙන් අප ඉතා මානුෂික සහ නම්‍යශීලී ලෙස විමසා බැලිය යුතු වේ.

මේ මොහොතේ ඇති වී ඇති ජන අරගලයට සාපේක්ෂව දේශපාලන වශයෙන් අස්ථාවර වාතාවරණයක් නිර්මාණය වී ඇති අතර පසුගිය කාලය මුළුල්ලම විමසා බැලීමේ දී දේශපාලන වශයෙන් ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමට ඔබතුමා ප්‍රමුඛ රාජ්‍ය අසමත් වීම ඉතා පැහැදිලිව නිරීක්ෂණයවන කරුණකි. විශේෂයෙන් බොහෝ අවස්ථාවල දී කැබිනට් සංශෝධනය සිදු කිරීමත් එවැනි කැබිනට් මණ්ඩල පත් කිරීමේ විද්‍යාත්මක පදනමක් ගම්‍ය නොවීමත් බොහෝ අවස්ථාවල දේශපාලන තීරණ සඳහා ඔබතුමාට උපදෙස් ලබා දෙන පුද්ගලයින් විසින් ඔබතුමාව ඉතා පහසුවෙන් නොමඟ යවමින් කටයුතු කරන බව ජනතාවට අවබෝධ වීමත් ඉතා කණගාටුදායක තත්ත්වයකි. බොහෝ අවස්ථාවන්වල දී අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික අවබෝධයක් ඇති පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා ගන්නවා වෙනුවට ස්වකීය දේශපාලන යටි අභිමතාර්ථයන් වෙනුවෙන් ඔබතුමාත් ආණ්ඩුවත් අපහසුතාවයට පත්කරන අන්දමෙන් ඔබතුමාට උපදෙස් දෙන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් නිසා මේ වන විට රාජ්‍යයත් එහි ජීවත්වන ලක්ෂ 220 කට ආසන්න මිනිස් ජීවිතත් දැඩිලෙස අනතුරට පත්වීම ඔබතුමා ද ප්‍රායෝගික වශයෙන් සංවේදී වී ඇති  බව අපි විශ්වාස කරමු.

දේශපාලන නායකයාගේ භූමිකා වඩාත් සපිරෙන්නේ අරගලයක දී සමස්ත මහජනතාවට ම නායකත්වය ලබාදෙමින් එම ජනතාව ඉන් මුදවා ගැනීමට ඔවුහු දක්වන ප්‍රඥාගෝචරභාවය සහ ස්ථානෝචිතව ගනුලබන ක්‍රියා මාර්ග වලට අනුව බව අපගේ විශ්වාසයයි. පසුගිය කාල සීමාව මුළුල්ලේ රට පුරා සිදුවුණු ආර්ථික ගැටලු සහ සමාජ ගැටලුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් ඔබතුමා ප්‍රමුඛ රජය ගනුලැබූ බොහෝ පියවර මහජනතාවගේ උදහසට ලක් වූ අතර ඇතැම් අවස්ථාවන්වල දී විද්‍යාත්මක මූලික සිද්ධාන්තයන් පවා නොසලකා ගනු ලැබූ තීරණ ඉතා ප්‍රබල ලෙස මහජනතාව  කම්පනයට පත් කිරීමට සමත් විය.

මෙවන් අවස්ථාවන්වල දී අතීතයට චෝදනා කිරීමෙන් වර්තමානයේ පවතින ප්‍රශ්න නොවිසඳෙන බව ඔබතුමාට අවබෝධයක් ඇතැයි විශ්වාස කරන අතර එවන් තත්ත්වයක් නොසලකා හරිමින් දිගින් දිගටම අතීතයට චෝදනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාල ගැටළු විසඳා ගැනීමට තිබූ ප්‍රමාණවත් කාලසීමාවන් අපතේ ගිය බව අපගේ විශ්වාසයයි.

මහජනතාවගේ ජීවත්වීමේ අයිතිවාසිකම් දිනාගැනීමේ මහපොළොවේ  අරගලය විසඳා ගැනීම සඳහා දේශපාලන අරගලය විසඳීමට ප්‍රමුඛතාවයක් ලබා දීම ඉතා වැදගත් වනුයේ මහජන අරගලය සහ තරුණ අරගලයේ කේන්ද්‍රීය ස්ථානය දේශපාලන අරගලය මත රඳා පවතින බැවිනි. යම් යම් ගැටළු සහගත තත්වයන් පවතින නමුත් මේ මොහොතේ දී මහජනතාව පවසන කරුණුවල සත්‍යතාව ඉතා පැහැදිලිව සහ සාකච්ඡා මාර්ගයෙන් විමසීමට ලක් කොට අඩුපාඩු පවතින ස්ථාන හැකි ඉක්මනින් නිවැරදි කිරීමට රටේ රාජ්‍ය නායකයා ලෙස ඔබතුමා සක්‍රිය ලෙස මැදිහත් වනු ඇතැයි අපි විශ්වාස කරමු

ජනතාව මේ මොහොතේ ඔබතුමාගෙන් ඉල්ලා සිටින නම්‍යශීලී කරුණු සම්බන්ධයෙන් පරිණත දේශපාලන අත්දැකීම් සහිත පවුලක සාමාජිකයෙකු ලෙස ඔවුන් සමග ද සාකච්ඡා කොට ඔබතුමා මේ මොහොතේ ගත යුතු හොඳම පියවර ගැනීම සඳහා වඩාත් සාධනීය ලෙස එළඹුමක් ගනු ඇතැයි අපි විශ්වාස කරමු. මක්නිසාදයත් මේ ඇති වී තිබෙන තත්ත්වය දිගින් දිගටම නිරාකරණය නොවී පැවතුණහොත් සමාජය තුළ ඉතා බිහිසුණු වාතාවරණයක් නිර්මාණය වී අවසානයේ දී බොහෝ කණගාටුදායක සිදුවීම් වලින් ගහණ විය හැකි බැවිනි. තත්ත්වයන් පාලනය කිරීමට උත්සාහ ගැනීමේ දී විවිධ පාර්ශ්ව අතර විවිධ මත ගැටුම් ද ශ්‍රී ලංකාවේ කීර්තිනාමය හානි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායම් සඳහා පහසු අවස්ථාවක් ද උදාවන අතර දැනටමත් අපේ රටේ සෞඛ්‍ය අංශ ඇතුළු අංශ ගණනාවකට අවශ්‍ය කරන සෞඛ්‍ය ආධාර සහ විවිධ ජාත්‍යන්තර ආධාර ලබාගැනීමේ දී රට තුළ නිර්මාණය වී පවතින අයහපත් වාතාවරණය නිසා බොහෝ රජයන් සෘජුවම හෝ වෙනත් සුදුසු ආයතන හරහා ශ්‍රී ලංකාවට උදව් උපකාර කිරීමට මැලි භාවයක් දක්වන බව අපගේ අත්දැකීමයි. එබැවින් මේ දේශපාලන ව්‍යාකුලභාවය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය සහ යහපාලන ගුණාංගයන් පවත්වාගෙන යාම සම්බන්ධව බරපතල තත්ත්වයක් නිර්මාණය කරන අතර එය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත්ව සිටින වෘත්තිකයන්ගේ පවා වෘත්තීය භාවය අභියෝගයට ලක්වන අවස්ථාවකි.

නිදහසෙන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී තිබෙන මේ අවස්ථාවේ දී තවදුරටත් දේශපාලන අර්බුදය වැඩි වර්ධනය වීමට ඉඩ දෙමින් මෙම ආර්ථික අර්බුදය ඛේදාන්තයක් දක්වා ගෙන යාම වෙනුවට ඔබතුමා ඉතා නිරහංකාර සිංහල බෞද්ධයකු ලෙස දේශපාලනික වශයෙන් අඩියක් පිටුපසට ගෙන රාජ්‍ය ස්ථාවර කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ලෙස වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයන්ගේ ද රටේ අතිමහත් බහුතරයක් ජනතාවගේ ද වෘත්තීය සහ මානව අයිතිවාසිකම්, මෙම තීරණාත්මක අවස්ථාවේ දී කඩ වීමට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටින වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අදාල මානුෂීය අයිතිවාසිකම් දිනපතා කඩ වෙමින් පැවතීම තවදුරටත් එම දේශපාලන අර්බුදය වැඩි වර්ධනයකින් කෙළවර වන තත්වයක් බව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.

එබැවින් අප වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ආදරය කරන සිවිල් පුරවැසියෙකු සහ සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස ඔබ ඉතා පැහැදිලිය තීරණයක් රටේ ජනතාවට ලබා දෙනු ඇති බවයි. ඔබතුමා උතුරු-නැගෙනහිර යුද්ධය  නිමකිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාන්විත නායකත්වය ගෞරවය එලෙසින් ම පවතින අතර එම ගෞරවය බිඳකුදු හෝ හානියක් සිදු නොකර ගනිමින්  මෙම දේශපාලන පොරපිටිය තුළ ඇතිවූ අර්බුදය තුලදී පියවරක් පිටුපසට ගෙන ඉතා නිවුණු තීරණයක් ගෙන ජාත්‍යන්තරයට ආදර්ශයක් දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.