හදිසි නීතිය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක්. වහා ඉවත් කළ යුතුයි - නි.මා.ව්‍යා.

හදිසි නීතිය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක්. වහා ඉවත් කළ යුතුයි - නි.මා.ව්‍යා.

ජනතාව සාමකාමීව විරෝධතාවේ නියැලෙමින් සිටියදී හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි. හදිසි නීතියට මුවා වී ජනතාවගේ සාමකාමීව රැස්වීමේ හා විරෝධතා දැක්වීමේ නිදහස අවහිර කළ හැකි අතර වෙනත් රෙගුලාසි පැනවීමෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට හානි පැමිණවිය හැකිය.

අර්බුදකාරී වාතාවරණයක සිදුවිය යුත්තේ නිදහස් අදහස් ගලනයට හා විරෝධය දැක්වීමට ඇති අවකාශය පුළුල් කිරීම වන අතර මෙවැනි මර්ධනකාරී නීති පැණවීමෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිදු වේ.

ජනතා ඉල්ලීම් නොතකා මෙලෙස හදිසි නීතිය පැනවීම පිළිකුලෙන් යුක්තව හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහා මෙම මර්ධනකාරී නීතිියඉවත් කරන ලෙසයි.

එසේම, මෙහිලා පාර්ලිමේන්තුවටද දැඩි වගකීමක් ඇත. ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය පාර්ලිමේන්තුවේ බහුතර සම්මුතියකින් දින දහයකදී සම්මත විය යුතු අතර එසේ නොවුවහොත් දින 14කදී නිෂ්ප්‍රභ වේ. මේ වනවිට පාර්ලිමේන්තුව කල් තබා ඇති නමුත් මීළඟ සැසිවාරයේදී එය අනුමත වීමට නොදී නිෂ්ප්‍රභ කිරීමේ බලය පාර්ලිමේන්තුවට තිබේ. එමනිසා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ හදිසි නීතියට සිය විරෝධය දක්වමින්  ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලෙසයි.