හදිසි නීතියට දසතින් ‍විරෝධය

හදිසි නීතියට දසතින් ‍විරෝධය

හදිසි නීතිය නිසැකවම රටේ දුෂ්කරතා විසඳීමට උපකාරී නොවන බව යුරෝපා සංගමය අවධාරණය කර තිබේ.

හදිසි තත්ත්වයක් පත් කිරීම සුදුසු නෑ - ඇමරිකානු තානාපතිනිය

රට ආපසු සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව කොළඹ අමෙරිකානු තානාපති ජූලි චන්ග් කියයි.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට උදව් නොවන බව තානාපතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හදිසි නීතිය පැනවීටම හේතු කියන්න

හදිසි නීතිය ප්‍රකාශ කිරීමට හේතු මහජනතාවට පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා තිබේ.

ඒ විරෝධතා බොහෝ දුරට සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමාව තුළ පැවති බැවින් ය.

හදිසි නීතීය අවලංගු කරන්න - නීතිඥ සංගමය

රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළිතුර හදිසි නීතිය නොවන බවත් එබැවින් එය වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

රජය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන බවත්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම නිවේදනයෙන් දක්වා ඇත.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ටුවිටර් පනිවිඩයක් තබමින් සඳහන් කළේ, "බියෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් මිස අන් කිසිවකින් තොරව ඔබ මේ රට අඩපණ කරනවාද? හදිසි නීතිය අර්බුදයට මොනයම් හෝ විසඳුමක් සෙවීමට පටහැනිය. ඉල්ලා අස්වෙන්න"

ජනතාවිමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ "ජනතාවගේ සාධාරණ අරගල මර්දන නීතිවලින් නවතාලිය නොහැකි බව ගෝටාභය රාජපක්ෂ තේරුම්ගත යුතුය.  යනුවෙනි.

මේ අතර කොළඹ කැනේඩියානු තානාපතිවරයා ටුවිටර් පනිවිඩයක් තබමින් විමසා සිටියේ. "පසුගිය සති කිහිපයේ, ශ්‍රී ලංකාව පුරා පැවති පෙළපාලිවලට සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳින පුරවැසියන් විශාල වශයෙන් සම්බන්ධ වී ඇති අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරවයකි. එසේ නම් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ මන්දැයි තේරුම් ගැනීමට අපහසුය."

ජනාධිපතිවරයා යළි හදිසි නිතීය පැනවීමට තීරණය කළේ ඇයි?

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කරුණු 03ක් මත හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවය.

  • රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම.
  • මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම.
  • මහජන ආරක්ෂාව සඳහා.

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව, 1959 අංක 8 දරණ පනතින් හා ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරණ පනතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත 40 වැනි අධිකාරීය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හදිසි අවස්ථා තත්වය යනු කුමක්ද ?

හදිසි අවස්ථාව යන්න මහජන ආරක්ෂක පනතෙහි විස්තර කෙරෙන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරිමට සාමාන්‍ය තත්ත්වයන් හීදී ලබාදෙනු නොලබන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙසම පවතින තත්ත්වයක් ලෙසය.

මෙවැනි තත්ත්වයකදී, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සහතික කිරිම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිම පිණිස ජනාධිපතිවරයාට ඉඩ ලැබේ.

හදිසි අවස්ථා තත්ත්වයක් කොපමණ කාලයක් පැවතිය හැකිද ?

මාසයක කාලයක් වලංගු වන නිවේදනයක් නිකුත්කිරීමට ජනාධිපතිවරයාට හැකිය. ( මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ඔහුට හැකි වන නමුත් ). දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ. එසේ සිදු නොවුවහොත් නිවේදනය අවලංගු වේ. සෑම දින 30කට වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකිය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියෙනි.

හදිසි අවස්ථාව සාමාන්‍ය පුරවැසියන් හට බලපාන්නේ කෙසේද?

ත්‍රස්තවාදී හෝ කලහකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වුවන් හෝ සැකකරුවන් නොවන සාමාන්‍ය පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතය, මෙම හදිසි අවස්ථා රෙගුලාසීන් බල පවත්වන විට දී ඒවායේ බලපෑමට ලක්වන ආකාරයන් ගණනාවක් පවතින් බවට නීති විශාරදයන් පෙන්වා දෙයි.

(ශ්‍රී ලංකා මිරර්)