යලිත් බස් ගාස්තු සංශෝධනයක පෙර ලකුණු?

යලිත් බස් ගාස්තු සංශෝධනයක පෙර ලකුණු?

අවසන් වරට සියයට තිස් අටක ප්‍රතිශතයකින් වැඩිකර තිබෙන සියලුම බස් ගාස්තු තවත් සියයට පහක පමණ ප්‍රතිශතයකින් වැඩි වීමට නියමිතව ඇතැයි ප්‍රවාහන ආරංචිමාර්ග සඳහන් කරයි.

ලබන ජූලි මාසයේදී මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීමට සැලසුම් කර ඇත්තේ එම මාසයේදී සිදුකරන වාර්ෂික ගාස්තු සංශෝධනයට අනුවය.

මේ අනුව දැනට රුපියල් විසි හතක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් තිහක් පමණ විය හැකි බවත් සෙසු ගාස්තුද සියයට පහක ප්‍රතිශතයට අනුව වැඩිවනු ඇත.

ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී අවම බස් ගාස්තුව රුපියල් විස්සක් දක්වා වැඩි විය. දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ යාම නිසා බස් ගාස්තුව සියයට තිස් පහක ප්‍රතිශතයකින් නැවත ඉහළ දැමීමට පියවර ගෙන තිබුණේ පසුගිය අප්‍රේල් 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. මේ අනුව අවම බස් ගාස්තුව රුපියල් විසි හතක් දක්වා වැඩි කෙරිණි.

මෙවන් තත්වයක් තුළ බස් සංගම්වල ඉල්ලීම පරිදි ලබන ජූලි මාසයේදී නැවත ගාස්තු සංශෝධනයක් කිරීමට සැලසුම්කර ඇති අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් එය සිදුකිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ ඉන්ධන මිළ සැලකිය යුතු අගයකින් වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇති බවය. බොහෝ විට ජූලි මාසයට පෙරාතුවම එම වැඩිවීම සිදුවීමට ඉඩකඩ පවතින බවද ඔහු සඳහන් කළේය.