රනිල් උත්තරයක්ද? - වෘත්තීය සමිති නායකයින් කට අරියි!

රනිල් උත්තරයක්ද? - වෘත්තීය සමිති නායකයින් කට අරියි!
ගාලුමුවදොර 'ගෝඨා ගෝ ගම' විරෝධතා ව්‍යාපාරයට මසක් ඉක්ම ගියද, එයින් මෙතෙක් උපයා ගත් සාධනීය ප්‍රතිඵල නැතුවා නොවේ.ජනාධිපතිවරයා අඩියක් පස්සට ගෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ස්ථාපිත කිරීමට කැමැත්ත පළ කිරීම පවා ස්වයංව සිද්ධවූවක් නොවේ. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවා ඉල්ලා අස්වූවා නොව පළවා හැරිය බව සිහිපත් කළ යුතුය. එහෙත් රට මේ සා අර්බුදයකට හෙළදමනු ලැබූ වත්මන් පාලනයේ අත්තනෝමතික පාලකයා තවමත් සක්‍රීයව කටයුතු කරනු ලබයි. එපමණක් නොව අග්‍රාමාත්‍ය ධූරය ලබාදෙනු ලැබුවේ මහජනයා කිසි සේත්ම බලාපොරොත්තු වූ පුද්ගලයෙකුට නොවේ. ජනඅරගලයට සහයෝගය දැක්වූ වෘත්තීය සමිති නායකයින් මේ පිළිබඳව කියන්නේ කුමක්ද?
 
වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු 'වැඩබිමට' ට දැක්වූයේ මෙවන් අදහසකි. 
 
 
උදේනි දිසානායක-සභාපති 
සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය
 
''එක්ව හඬ නඟනවා''
 
 
''රාජපක්ෂවරුන් යන්නෙ නෑ කීවට මහින්ද රාජපක්ෂ හොරෙන්  පැනල යන තත්ත්වයට පත්වුණා. ගෝඨාභය ජනාධිපතිවරයාත් ඉවත් විය යුතුයි කියන ස්ථාවරයේ තාම අපි ඉන්නවා. කෙසේ නමුත් රට අස්ථාවර භාවයට පත් නොවී රැකගැනීම වෘත්තීය සමිතිවල පමණක් නොව රටේ පුරවැසියන්ගේත් වගකීමක්. ඒ්ත් ඒ් ස්ථාවරත්වය රැකගන්නට අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීම සුදුසුයි කියලා අපි හිතන්නෙ නෑ. එහෙත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ඔහුට බහුතරය පෙන්වන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේවි. අපි හිතන්නේ ඒ්ක පොහොට්ටු පක්ෂයත්, ශ්‍රීලනිපයත් ඇතුළු සංවිධාන එකතුවෙලා බහුතර ඡන්දයකින් රනිල්ගෙ අගමැතිකම තහවුරු කරයි. 
 
මං එහෙම කියන්නෙ 2015 දි රනිල්-මෛත්‍රී සුසංයෝගයෙන් හැදුව ආණ්ඩුව තුළිනුත් කළේ මහින්ද රාජපක්ෂලා හොර නඩය ආරක්ෂා කිරීම නිසයි. රාජපක්ෂ හොර නඩය එදා ආරක්ෂා නොකළා නම් අද රටට මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්නෙ නෑ. ඒ්ක නැවත වාරයක් ප්‍රතිනිර්මාණය කිරීමක් තමා ජනාධිපතිවරයා විසින් මේ කරමින් ඉන්නෙ. රනිල් වික්‍රමසිංහ අගමැති කරලා, රාජපක්ෂ පවුල ඇතුළු හොර නඩය ආරක්ෂා කර ගැනීමේ කාරණය තමා මේ ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. ඒ්කට මහජනතාව, සිවිල් ජනතාව, වෘත්තීය සමිති විදිහට අපි එක්ව හඬක් නඟනවා.
 
 
 
 
ජේ.බී ගුරුසිංහ -සභාපති
තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය
 
''මේ සටන අඛණ්ඩව ගෙනියනවා''
 
අප දිගින් දිගටම සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ කියන අසාර්ථක හා මිනීමරු පාලකයා වහාම අස්වී යා යුතුයි කියන එක. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. මීට ප්‍රථම රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති ලෙස වසර ගණනාවක් හා කැබිනට් ඇමතිවරයෙකු ලෙසත් වසර ගණනාවක් කටයුතු කළ කෙනෙක්. වික්‍රමසිංහලා අගමැති ධූරය පවා දරමින් සිටි රටක් තමා අද මේ තත්ත්වයට කඩා වැටී තියෙන්නෙ. ඒ් තුළම රනිල් යනු විසඳුමක් නොවන බව පැහැදිලියි. ඔහු තුළ දකින්නට ඇත්තේ බටහිර ගැති භාවයක් පමණයි. එයින් අපට නොව ප්‍රයෝජනය ඇත්තේ බටහිරට පමණයි. ඒ් වගේම පසුගියදා ගාලුමුවදොර ජන අරගල භූමියට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට ගෝඨාභය හා හිටපු අගමැතිවරයා  වග කිව යුතුයි. මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මරණ ගණනාවක් මෙන්ම බොහෝ පිරිසකට තුවාල සිදුවුණා. විශාල වශයෙන් පුද්ගලික හා රාජ්‍ය දේපළ හානි සිදුවුණා. අරගලය ශක්තිමත් කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විදිහට අපි දිගින් දිගටම දූෂිත පාලකයින්ට එරෙහිව කටයුතු කරනවා. මේ රටේ ජනතාවගෙන් වංචනික ලෙස සොරාගත් ධනය යළි පවරා ගන්නා තුරු මේ සටන අඛණ්ඩව පවත්වාගෙන යනවා.
 
 
 
 
කල්ප මධුරංග - සභාපති 
ප්‍රොටෙක්ට් සංගමය 
 
''රනිල් කියන්නෙ තාවකාලික පැලැස්තරයක්"
 
ජන අරගලය ඇතුළු ඇතිවුණු විරෝධතා රැල්ල ගත්තම ජාතික ජන බලවේගය, පෙරටුගාමීන්, යූ.ඇන්.පී, සජබ, පොහොට්ටු, විවිධ වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් මේ සියල්ල අඩු වැඩි වශයෙන් නියෝජනය වුණා. රනිල් අගමැතිවීමත් එක්ක පොදු අරගලය තුළ සිටි යූ.ඇන්.පී හිතවාදීන් ඒ්ක හැරයාම සිද්ධවෙනවා.
 
  රනිල් වික්‍රමසිංහට පහුගිය කාලයේ පාර්ලිමේන්තුවට කැඳවා ඔහුව ඔසවා තැබීමක් සිදුකරනවා. 'ඔහුට ජාත්‍යන්තර සබඳතා තියෙනවා', ' මේ අර්බුදයට විසඳුම් තියෙන්නෙ ඔහු ගාව" වගේ යම් කිසි විදිහකට ඔහුගේ චරිතය මවා පෑමක් කරනවා.ආණ්ඩුවට පවා උපදෙස් දෙන්නෙක් බවට තමා හඳුන්වා දුන්නෙ. මෙහෙව් තත්ත්වයක රාජපක්ෂලාගේ අවශ්‍යතාව අනුව අගමැතිවරයා ලෙස ඔහුව තෝරාගන්නවා.  ඒ් තෝරා ගැනීම විසින් ජන අරගලය නියෝජය කළ යම් පිරිසක් මෙතනින් ඒහාට ගැටලුවක් නෑ කියන මානසිකත්වයෙන් ඉවත් වෙන ස්වරූපයකුත් පෙන්නුම් කරනවා. 
 
අරගලය තුළ නියෝජනය වුණු මධ්‍යම පාන්තික කොටස්, ඉහළ මධ්‍යම පාන්තික කොටස් එයාලාගෙ අවශ්‍යතාවන් ඉටු කරන විදිහේ ආර්ථික වටපිටාවක් ඉදිරියට නිර්මාණය වේවි කියන අදහසින් මේකට එකඟ වෙනවා. වෘත්තීය සමිති වුණත් එහෙමයි. සමන් රත්නප්‍රියලා වැනි වෘත්තීය සමිති නායකයිනුත් එහෙම හිතනවා. 
ජනතාව ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයෙක් විසින්  යූ.ඇන්පි එකෙනුත් ප්‍රතික්ෂේප කළ රනිල් අගමැති ලෙස පත්කරනවා. රනිල් කියන්නෙ ජන මතයක් තියෙන කෙනෙක් නෙවෙයි. ජාතික ලැයිස්තුවෙන් ආව කෙනෙක්. එක් පසෙකින් විරෝධය යටපත් කරගැනීමත්, සජිත් එපා කියන අයයි යම් එකඟතාවකට ඇවිත් කරන තාවකාලික පැලැස්තරයක් විදිහට තමා අපි මේක දකින්නෙ. 
 
 
රවි කුමුදේශ් - කැඳවුම්කරු 
සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සමිති සම්මේලනය
 
 
''මේක දේශපාලන ඩීල් එකක්"
 
ගෝඨාභය රාජපක්ෂයට තාමත් රටේ මිනිසුන්ගේ අදහස කියවාගන්න බෑ. අලුත් අග්‍රාමාත්‍යවරයා පත් කරගැනීම තුළිනුත් තහවුරු වෙන්නේ ඒ්කයි. මහජනතාව සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට ඇති නොහැකියාව හෝ විශ්වාසයක් නැතිකම තමා මේකෙන් පෙනෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මේ වෙලාවෙ පත්වෙන්නේ රාජපක්ෂලාගේ ඩීල් එකක් මත බව පැහැදිලියි. ඔහුට මේ අර්බුදය වෙලාවෙ කුමක් කළ හැකිද? නොහැකිද,  කියන කාරණයට වඩා ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන්නේ කුමක් අරබයාද කියන කාරණය තමා සැලකිය යුත්තෙ. රට පුරා තියෙන අලුත් දේශපාලන පරිවර්තනයට අදාළව මහජනයා සමඟ සම්මුතියක් ගෝඨාභය රාජපක්ෂ තුළවත්, රනිල් වික්‍රමසිංහ තුළවත් නෑ. ඉතිං  සමාජයට ඒ් පරිවර්තනය ලබාදෙන්නේ කොහොමද කියන එක ගැටලුවක්.  
ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ජනමතයට ඉඩ ලබා නොදෙන බවත්, ජන සම්මුතිය තේරුම් ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් නැවත නැවතත් රට අරාජිකත්වය කරා ගෙන යන බවත්, පැහැදිලියි.
 
මහ ජනතාවගේ අප්‍රසාදයට හා අවිශ්වාසයය ලක්ව ඇති ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් මහ ජනතාව සමග සම්මුතියකට ඒම වෙනුවට, දේශපාලන ගනුදෙනුවක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාව තෝරාගෙන ඇති ඇතර, ඒ හේතුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවකට ඇති ඉඩකඩ තවදුරටත් අහුරා, හොරු රකින පාලනයකට පාර කාපා ගැනීමට උත්සාහ දරා තියෙනවා.
අගමැතිවරයා ලෙස බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මාහතාටද, කාලාන්තරයක් තිස්සේ මහජන සම්මුතියකට එළඹීමට වඩා දේශපාලන ඩීල් පිළිබඳව විශවාසය තබා කටයුතු කර ඇති බව මෙම පත් කිරීම හරහා ඉතා පැහැදිලි වෙනවා. මහජනතාව අපේක්ෂා කරනු ලබන සුහුරු දේශපාලන පරිවර්තනය ඔහු හරහා සිදු වනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කරන්න බෑ. ඒ් නිසා මහජන අරගලය අඛණ්ඩ ඉදිරියට ගෙනයෑම හැර වෙනත් විකල්පයක් අපට නෑ.
 
 
 
A G U නිශාන්ත - සභාපති
විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය
 
 
''අවශ්‍ය වෙන්නේ ක්‍රමයේ වෙනසක්" 
 
අප්‍රේල්  9 දා අරගලය පටන් ගත්තට ඒ්ක ඊටත් කලින් විටෙන් විට මතුවෙමින්  දිගින් දිගට ආව අරගලයක්. 09 දා නව ආරකින් ප්‍රකාශ වුණා.  මේ අරගලකරුවන් ක්‍රමයේ වෙනසක් තමා අපේක්ෂා කරන්‌නෙ.ණයට අරගෙන කන්න බොන්න පටන් ගත්තා මිසක් ආර්ථික, සමාජීය ප්‍රශ්නයට උත්තරයක් මේ ක්‍රමයෙන් ලැබුණෙ නෑ. ඉස්සර කීවෙ , 'අපි හම්බ කරගත්තොත් අපි කනවා" කියලා. දැන් හම්බ කරගත්තත්, කන්න බෑ. වැඩපොළ, කාර්යාලය, බලාගාරය කොතන ගත්තත් එකම අර්බුදය තමා තියෙන්නෙ.දූෂිත දේශපාලනඥයයි, කූඨ ව්‍යාපාරිකයයි, අවස්ථාවාදී වෘත්තිකයයි කියන තුන් දෙනා එකතුවෙලා තමා, මේ රට මේ තැනට ඇදලා දැම්මෙ. කූඨ ව්‍යාපාරිකයා තමන්ගෙ ලාබය ගැන ගැන බලන අතරේ දේශපාලනඥයාට අවශ්‍ය වෙන්නේ අවස්ථාවාදී වෘත්තිකයා එක්ක එකතුවෙලා, එයාගෙ අත්සන අරගෙන වැඩ කරන්න. හොරා කෑම්, ආකාර්යක්ෂමතාව, අල්ලස දූෂණය.තමා හැමතැනම තියෙන්නෙ.
 
මං වැඩකරන ආයතනය, ඒ් කියන්නෙ විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නෙ පාරිභෝගිකයා ණයට විදුලිය අරන් නෙවෙයි. මේ දූෂිත තුන් කට්ටුවේ ක්‍රියාකලාපය නිසා තමා එහෙම වෙලා තියෙන්නෙ. මෙවැනි තත්ත්වයක තමා විරෝධතා අරගලය පැන නඟින්නෙ. මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ පත් කළාම මේ ගැටලුවට විසඳුමක් ලැබෙනවද කියන ප්‍රශ්නය තියෙනවා. මේ සිදුකරමින් තියෙන්නෙ තවත් විදිහකින් ණය උගුලක පැටලීමට කරන උත්සාහයක්. මේක ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. සමාජ, ආර්ථික ක්‍රමය වෙනසක් වෙනුවෙන් මින් එහාට ගිය වැඩපිළිවෙළක් තමා අවශ්‍ය වෙන්නෙ.
 
 
 
 

රංජිත් මුතුකුඩආරච්චි