සෞඛ්‍ය සේවාව කඩා වැටීමේ බරපතල අවධානමක

සෞඛ්‍ය සේවාව කඩා වැටීමේ බරපතල අවධානමක
  • නව අගමැතිතුමාගේ රුවන් විජේවර්ධන කමිටුව ඉදිරියේ සෞඛ්‍ය ලේකම් සත්‍ය හෙළිකරයි
  • දැන්වත් මානුෂීය අධාර ඉල්ලන්නේ නැත්නම් සෞඛ්‍ය සේවාව කඩාවැටීමේ අවධානමක්

රටේ සෞඛ්‍ය අර්බුධයක් පවතින බවත් ඒ හරහා සෞඛ්‍ය සේවාව කඩාවැටීමේ අවධානමක් පවතින බවත් අපි මීට මාසයකට කලින් කිව්වා උද්දච්ච ජනාධිපතිගේ ගෝලය වෙච්ච සෞඛ්‍ය ලේකම් සහ එවකට ආණ්ඩුව ඒ බව මහජනතාවට හැංගුවා. නමුත් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුවන් විජේවර්ධන මහතාගේ මූලිකත්වය සහිතව සෞඛ්‍ය අංශයේ ගැටළු සොයා බලා වාර්තා කිරීම සඳහා පත්කල කමිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මෙතෙක් කොලේ වහපු සෞඛ්‍ය ලේකම් සියල්ල හෙළි කරලා.

ඒ වෙනකොට හිඟය තිබ්බේ ඖෂධ 40 කට ආසන්න ප්‍රමාණයකට හදිසි අපදා තත්ත්වයක් සේ සළකා මානුෂීය ආධාර ඉල්ලන්න කියලා අපි පුන පුනා කිව්වා. නමුත් ඒ කිසිවක් සිදු වුන බවක් අපි දැක්කේ නෑ. ඒ වගේම පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මෙරටට කිසිඳු ඖෂධයක හෝ උපකරණයක ඇණවුමක් ලැබී නොමැති බවත් පවතින ඖෂධ හිඟය පියවා ගන්නේ විදේශ රටවල සිටින මිතුරන්ට පෞද්ගලිකව සිදු කරන ඉල්ලීම් මඟින් බවත් ඔහු ප්‍රකාශ කරලා.  ඒ විතරක් නෙමේ ඖෂධ අනයනයට ණයවර ලිපි විවෘත කළද ඩොලර් ගිඟය හා ඩොලරයේ අගය ඉහල යාම නිසා සියළු ආනයන කටයුතු ඇන හිට ඇති බවත් ඔහු දැං පිලිගන්නවා.

සෞඛ්‍ය ලේකම් කියන විදිහටම දැං ඒ හිඟය ඖෂධ 50 ක් දක්වා ඉහල ගිහිල්ලා. මේ කියන ඖෂධ 50 පෞද්ගලික අංශයේවත් නැහැ. අත්‍යාවශ්‍ය ඖෂධ 646 න් ඖෂධ 188 ක්ම වෛද්‍ය සැපයුම් අංශයේ නැහැ. අත්‍යාවශ්‍ය නොවන ඖෂධ 486 න් 21 ක් වෛද්‍ය සැපයුම් අංශයේ නොමැති බවත් එයින් ඖෂධ 49 ක් රෝහල් තුලද හිඟ වෙමින් පවතින බවත් වාර්තා වෙලා. ඒ විතරක් නෙමේ නිරන්තර භාවිතය සඳහා අවශ්‍ය ශල්‍ය උපාංග 2048 න් 1155 ක් මේ වන විටත් හිඟයි. මෙම අර්බුධයේ විශාලත්වය නිසාම ආසියානු සංවර්ධන බැංකුව මඟින් ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති වලින් පවා මුදල් ගනිමින් ඖෂධ හා ශල්‍ය උපකරණ ගෙන්වීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ වෙලා.

රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙරටට ආනයනය කල ඖෂධ සඳහා මාස හතරකින් ගෙවීම් සිදු කර නැහැ. මේ හේතුවෙන් අදාල අනයනකරුවන් අසාදු ලේඛණගත කිරීමට විදේශ ඖෂධ සමාගාම් විසින් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම බලශක්ති අර්බුධය හේතුවෙන් සිදු කරන විදුලි කප්පාදුව හා විදුලි ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඩීසල් සපයා ගැනීමේ අපහසුතාවයන් හේතුවෙන් පෞද්ගලික අංශය සතු ගබඩා වල ශීත සහ අධිශීත තත්ත්වයන් යටතේ පවතින ඖෂධ වල ගුණාත්මක භාවය පිළිබඳ සැක සංකා මතුවන බවත් එම ඖෂධ වල ශීත දාමයන් නිර්දේශිත ක්‍රමවේදයන්ට අනූව ආරක්ෂා කර ගැනීම ගැටළුවක් වී ඇති බවත් අදාල කමිටු රැස්වීමේදී අනාවරණය වෙලා. දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සඳහා අත්‍යාවශයෙන්ම ලබා දිය යුතු ඉන්සියුලින් එන්නතට අදාලව මෙම ගැටළුව උග්‍ර තත්ත්වයක පවතීන බවත් උෂ්ණත්ව සංවේදී සියළු ඖෂධ සඳහා මෙම ගැටළුව පවතින බවත් ප්‍රකාශ වෙලා.

ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ප්‍රතික්‍රීයක හා රෝගීන්ගේ ආහාර සැපයුම් කරුවන්ට මාස හතරකින් ගෙවීම් සිදු කර නැහැ. අපගේ නිරාවරණය අනූව පසුගිය මාසයේදී නඩත්තු සඳහා පමණක් රුපියල් බිලියන 5 කට ආසන්න හිඟයක් පැවතුනා. වර්තමානයේ සමස්ථ හිඟ මුදල රුපියල් බිලියන 34 ක්. සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා ඇතැම් සැපයුම් නතර කිරීමට කටයුතු සිදු වන බවත් මෙය ඉතා බරපතල තත්ත්වයක් බවත් අපි අවධාරණය කරා.

සෞඛ්‍ය අංශයට අදාල බොහෝමයක් දේවල් ආනයනික භාණ්ඩ ළදරුවන්ට ලබා දෙන සිරප් වර්ග පවා ක්‍රමක්‍රමයෙන් හිඟ වෙමින් පවතිනවා. වර්තමාන ඩොලර් අර්බුධය හමුවේ ආනයන භාණ්ඩ ගිඟවෙනවා කියන එක අරුමයක් නෙමේ නමුත් රට තුල නිෂ්පාදනය වන භාණ්ඩ වලටත් දැං මේ අර්බුධය හරහා ගැටළු මතුවෙලා. ගෝස් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා ගෝස් හා කොට්න් නූල්ද අහිමිවීමේ අවදානමක් පවතන බව සෞඛ්‍ය ලේකම් ප්‍රකාශ කරලා. ඒ වගේම ගෝස් කෑල්ලේ, සේලයින් එකේ ඉඳලා අත්‍යවශ්‍ය ඖෂධ හා රසායනාගාර උපකරණ දක්වා යන සියළුම දේවල් හිඟ වීමේ අවදානමක් පවතින බව පිළිගන්න තරං දැං ඔහු අවංක වෙලා.

දැං වත් යථාර්තය තේරුං ගනිමින් සියළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය තහවුරු වන පාලන ක්‍රමයක් ස්ථාපිත කරන ලෙසත්, අර්බුධයේ පතුල බලා තීන්දු තීරණ ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිනවා. ඒ නිසා පසුගිය ආණ්ඩුව වගේ වෙන දෙයක් වෙච්ච දෙං කියලා ඔහේ බලා ගෙන එහෙම ප්‍රශ්ණයක් නෑ කියමින් ප්‍රශ්ණය යට ගහන්නේ නැතුව අඩුම තරමේ සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා මානුෂීය ආධාර ඉලලුම් කිරීම වැනි විකල්පයකට අවතීර්ණ වීම ගැන සළකා බලන්න කියලා රුවන් විජේවර්ධන කමිටුවටත් නව අග්‍රාමාත්‍යතුමාටත් අපි අවධාරණය කරනවා.