පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව රාජකාරි කිරීම සඳහා පසුබිම සකස් කරන ලෙස ඉල්ලයි

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව රාජකාරි කිරීම සඳහා පසුබිම සකස් කරන ලෙස ඉල්ලයි

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා හා තවත් මාධ්‍යවේදියකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පහරදීමට තැත්කිරීම, ජංගම දුරකථන පැහැර ගැනීම් සිදුකරන්නේ නම් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය පිළිබඳව ලෝකයට යන මතය යහපත් නොවන බවත්, මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවීමටත් , පාර්ලිමේන්තුව තුළදී මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු අනිසි බාධාවන්ගෙන් තොරව සිදුකරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙසත් ඉල්ලා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමා ධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් අදාල කමිටු කාමරයෙන් පිටතට එන ආකාරය අප සංගමයේ මාධ්‍යවේදීන් ‍දෙදෙනකු විසින් වාර්තාකරමින් සිට ඇත. මෙවැනි පටිගත කිරීම් දීර්ඝ කාලයක සිට අප මාධ්‍යවේදින් සිදුකරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිය අදහස් දැක්වීම් ලබාදීමට අප මාධ්‍යවේදීන් කැඳවන අවස්ථාද වේ. සිය ජංගම දුරකථන වලින් අදාල දර්ශන ලබාගනිමින් සිටියේ සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී කසුන් සමරවීර සහ ස්වර්ණවාහිනි මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා යන අයයි.

ප්‍රගීත් පෙරේරා අප සංගමයේ සභාපතිවරයාද වේ. මේ දෙදෙනා සිය වෘත්තීමය කටයුතු මන්ත්‍රීවරුන්ට බාධාවක් නොවන ආකාරයෙන් සිදුකරමින් සිටියදී අදාළ දර්ශන ලබාගන්නේ කුමකටදැයි ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන දෙදෙනා අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඔවුන්ගේ මාධ්‍ය ආවරණ කටයුතු වලට බාධා කර තිබේ. ඉන් නොනැවතුන ඔවුන් මාධ්‍යවේදීන් දෙදෙනාගේ ජංගම දුරකථන දෙකද පැහැරගෙන ඇත. මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදීම වළක්වා තිබුනේ අසල සිටි ආරක්ෂක අංශ විසිනි.

මෙය ඉතා බරපතල සිදුවීමක් බව අප සංගමයේ හැගීමයි.

මෙමඟින් මාධ්‍ය නිදහස බරපතල ලෙස අභියෝගයකට ලක්ව ඇතිබව අප සංග‍මයේ අදහසයි. එපමණක් නොව රටේ වඩාත්ම ආරක්ෂාව සහිත ස්ථානයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම සංකේතයක් වන උත්තරීතර පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී එහි කටයුතු වාර්තාකරණයට පැමිණෙන මාධ්‍යවේදීන්ට මෙලෙස මන්ත්‍රීවරුන් පහරදීමට තැත්කිරීම, ජංගම දුරකථන පැහැර ගැනීම් සිදුකරන්නේ නම් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය පිළිබඳව ලෝකයට යන මතය යහපත් නොවන බව අපගේ වැටහීමයි.

මේ හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවීමටත් , පාර්ලිමේන්තුව තුළදී මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු අනිසි බාධාවන්ගෙන් තොරව සිදුකරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.