පාර්ලිමේන්තුව තුලදී  මාධ්‍යවේදීන්ට එල්ලවූ  හිරිහැරවලට විරෝධය දක්වමු  

 පාර්ලිමේන්තුව තුලදී  මාධ්‍යවේදීන්ට එල්ලවූ  හිරිහැරවලට විරෝධය දක්වමු  

2022-05-17 දින පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී පිටතට පැමිණෙමින්  සිටි පිරිස්   ඡායාරූපගත කල  ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර  යන වෘත්තීය මාධ්‍යවේදීන් දෙදෙනාගේ දුරකතන දෙක පැහැරගෙන ඔවුන්ට මරණීය තර්ජන එල්ල කිරීම අප සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ආසියානු මාධ්‍යවේදීන්ගේ හා සංස්කෘතික සංගමය කතානායකවරයා වෙත ලිපියක් කියා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජංගම දුරකතන මගින් පාර්ලිමේන්තු වාර්තාකරණ කටයුතුවල නිරතවීමට ජනමාධ්‍යවේදීන්ට  පාර්ලිමේන්තුව විසින්ම නිල වශයෙන්ම අවසරය හා නිදහස ලබාදී ඇති වටපිටාවක මෙවැන්නක් සිදුවීම  මෙරට මාධ්‍ය නිදහසට මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටද එල්ලවූ  බරපතල පහරක් ලෙස අප විශ්වාස කරමු .

එසේම මෙහිදී  තර්ජනයන්ට ලක්වූ මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා , පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වීමද විශේෂ කරුණකි .

ජංගම දුරකථන මාර්ගයෙන් මාධ්‍යකරණයේ නිරතවීම අද ලොව පුරාම සිදුකෙරෙන  , පිළිගත් ක්‍රමවේදයක් වන අතර එය MOJO හෙවත් මොබයිල් ජර්නලිසම්( mobile journalism) යන නමින් හැඳින්වේ . එසේම නවීන ලෝකය තුල , ජන්ගම දුරකථනය යනු මාධ්‍ය වාර්තාකරණයේ ප්‍රධානතම මෙවලමක් බවට පත්වී ඇත .

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ බව නොදැන සිටීම අතිශය කනගාටුවට කරුණක් වන අතර ඔවුන්ව මේ සම්භන්ධයෙන් දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේ  හා කතානායකවරයාගේ  වගකීමක් වන බවද අප මෙහිදී  අවධාරණය කර  සිටිමු .

 ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය වන  පාර්ලිමේන්තුව තුළදී , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතින්ම  මාධ්‍යය වෙත එල්ලවන මෙවැනි  බලපෑම්  සුළුකොට තැකිය නොහැකි අතර  ඒ අනුව මෙම  සිදුවීමට වගකිවයුතු  සියලු දෙනාටම  තරාතිරම නොබලා නීත්‍යානුකූලව ක්‍රියාත්මකවීමට කථානායකවරයා ලෙස ඔබතුමා වහා පියවර ගත යුතව ඇත .

එසේම තම රාජකාරිය ඉටුකිරීමට ගිය  අපගේම මාධ්‍ය සගයින් දෙදෙනෙකුට එල්ලවු මෙම තර්ජනයන්ට හා හිරිහැරයන්ට  විරෝධය පළකිරීමක් ලෙස , හෙට දින “කළු පටි “ පැළඳ තම රාජකාරියේ  නිරතවන ලෙසද  පාර්ලිමේන්තු මාධ්‍ය වාර්තාකරණයේ නිරතවන සියලුම මාධ්‍යවේදීන්ට  අප යෝජනා කර සිටිමු . ,