සෞඛ්‍ය සේවාව කඩා වැටීම වළක්වා ගැනිමට වහාම මැදිහත් වන්න

සෞඛ්‍ය සේවාව කඩා වැටීම වළක්වා ගැනිමට වහාම මැදිහත් වන්න

රටේ පවතින උග්‍ර ඉන්ධන හිඟය හා දරාගත නොහැකි මිල ඉහල යාම් නිසා සෞඛ්‍ය සේවාවේ 24 පැය සේවාවක් ප්‍රායෝගික ලෙස ලබා දීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්වෙමින් පවතන බවත්, මෙම ගැටළු සඳහා නිශ්චිත ප්‍රායෝගික විසඳුමක් ලබා දීමට කිසිඳු වගකිව යුතු පාර්ශ්වයක් ඉදිරිපත් වී නොමැති බැවින් ඉදිරි කාලයේදී සෞඛ්‍ය සේවාව ස්වයංසිද්ධවම අත්හිටවෙන සුළු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් මෙම තත්ත්වය විසඳීමට කටයුතු කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ඉල්ලීමක් කර ඇත.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ,

වර්තමානයේ පවතින ප්‍රවාහන දුෂ්කරතා වලට අමතරව සැපයීමට සිදුවන අමතර සේවා වලට අදාල ගෙවීම සීමා කිරීම මත තවදුරටත් උපරිම කාර්යක්ෂමතාවයෙන් පැය 24 පුරා සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම.

සෞඛ්‍ය සේවාව අනිවාර්යය 24 පැය සේවාවක් ලෙස නම් කර තිබෙන නමුත් රටෙහි පවතින සියළු අර්බුධකාරී තත්ත්වයන්ට සමාන්තරව බලපැවැත්වෙන උක්ත කරුණු හේතුවෙන්  24 පැය සේවාවක් ප්‍රායෝගික ලෙස ලබා දීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්වෙමින් පවතී. එසේම මෙම ගැටළු සඳහා නිශ්චිත ප්‍රායෝගික විසඳුමක් ලබා දීමට කිසිඳු වගකිව යුතු පාර්ශ්වයක් ඉදිරිපත් වී නොමැති බැවින් ඉදිරි කාලයේදී සෞඛ්‍ය සේවාව ස්වයංසිද්ධවම අත්හිටවෙන සුළු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

විශේෂයෙන්ම සේවාමුර සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති සේවාවන් වල පැය 8 ක සේවා කාලය ආවරණය කිරීම සඳහා පමණක් ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් හරහා පැය 24 සේවා පවත්වා ගැනීමේදී සමාන්‍ය සේවා කාලය මෙන් තවත් දෙගුණයක කාල සීමාවක් සඳහා සේවාව සැපයීමට සිදු වී ඇති, නිළ නිවාස, නිළ වාහන, ප්‍රවාහන පහසුකම් හෝ ප්‍රමාණවත් අමතර සේවා දීමනා ලබා දී නොමැති පරිපූරක වෛද්‍ය සේවාවන් සඳහාද මෙම තත්ත්වය උග්‍ර ලෙස බලපවත්වනු ලබයි

තවද, පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී ඇති වන ප්‍රායෝගික ගැටළු හේතුවෙන් තම පෞද්ගලික වාහන භාවිතයෙන් සේවයට වාර්තා කිරීමට සිදු වන කාර්යය මණ්ඩලය සඳහා ඉන්ධන සපයා ගත නොහැකි වීම, තමන්ගේ වැටුපට සාපේක්ෂව ප්‍රවාහන වියදම් දරාගත නොහැකි වීම හා ලාභදායී විකල්ප ප්‍රවාහන ක්‍රමවේදයන් සපයාගත නොහැකි වීම මත ඉදිරියේදී ඔවුන් අඛණ්ඩව සේවයට පැමිණෙනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කල නොහැකිය. එබැවින්, උක්ත තත්වයන් සියල්ල යම් ප්‍රමාණයකට හෝ පාලනය කර ගැනීම සඳහා පහත යෝජනා ඉදිරිපත් කරමු.

1.        සේවා අවශ්‍යතාවය මත සැපයීමට සිදුවන අමතර සේවා සඳහා කප්පාදුවකින් තොරව දීමනා ලබා දීම.

2.        සේවයට වාර්තා කරනු ලබන දිනයේදී සිදු කරනු ලබන වැඩ ප්‍රමාණය දෙගුණයක් කර ගනිමින් සහ අමතර සේවා ප්‍රමාණය අවම කරගත හැකි වන පරිදි දෛනිකව රාජකාරියට පැමිණෙන නිළධාරීන් ප්‍රමාණය අවම කිරීම සඳහා සතියකට දින දෙකක් හෝ තුනක් විශේෂ නිවාඩු ලබා දීම.

3.        විශේෂ නිවාඩු ලබාදීමේදී ඇතැම් ආයතන වල නිළධාරීන්ගේ නිවාඩු දින දීමනා හෝ සති අන්ත දින දීමනා ගෙවීම සඳහා ඊට පෙර දිනයේ රාජකාරීයට පැමිණීම අනිවාර්යය ලෙස සැලකීම මඟින් යම් යම් අවස්ථාවලකදී අත්‍යාවශ්‍ය නොවන කාර්යය මණ්ඩලයද සේවයට කැඳවීමට සිදුව ඇති බැවින් විශේෂ නිවාඩු ලබාදීමේදී එම අන්තනෝමතික තීන්දුවද බලරහිත කරමින් උපදෙස් නිකුත් කිරීම.

උක්ත යෝජනාවන් ක්‍රියාත්මක නොවන්නේ නම්, රටේ පවතින තත්ත්වය හේතුවෙන් රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වීම මත ඇති විය හැකි අනපේක්ෂිත ගැටළුකාරී තත්ත්වයකදී එහි වගකීම අදාල නිළධාරියා මත පැටවීම, විනය ක්‍රියාමාර්ග ගැනීම හෝ නිවාඩු කප්පාදු කිරීම සිදු නොකරන ලෙසත් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.