සෞඛ්‍ය ලේකම්වරයාට වර්ජන අනතුරු ඇඟවීමක්

සෞඛ්‍ය ලේකම්වරයාට වර්ජන අනතුරු ඇඟවීමක්

රට තුල පවතින උග්‍ර ඩොලර් අර්බුදය මත හටගත් බරපතල ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය මහජන සේවාවන් ත්වදුරටත් පවත්වා ගත නොහැකි අර්බුදයක් කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන අවධියක  වෛද්‍ය නිළධාරීන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවකයන්ගේ වැප් කප්පාදු කිරීමට විරෝධය පළකිරීම සහ ඉදිරියේදී ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා වෙත, සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලිඛිතව දැනුම්දීමට කටයුතු කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රට තුල පවතින උග්‍ර ඩොලර් අර්බුදය මත හටගත් බරපතල ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය මහජන සේවාවන් තවදුරටත් පවත්වා ගත නොහැකි අර්බුදයක් කරා වේගයෙන් ගමන් කරමින් තිබේ.

පසුගිය දිනවල ඉන්ධන අර්බුදය මත පදනම්ව වාර විභාගය පවා අවසන් නොකර හිටිහැටියේ පාසල් වසා දැමීම මෙම ආර්ථික අර්බුදය අධ්‍යාපනය කෙරෙහි බලපා ඇති අන්දම මොනවට පෙන්වා දේ.

2019 අප්‍රේල් 21 දින එල්ල වූ මාරාන්තික පාස්කු ප්‍රහාරය නිසා අඩපණවූ ශ්‍රී ලාංකීය දරුවාලේ පාසල් ගමන කෝවිඩ් වසංගත ත්ත්වය නිවැරදිව කළමණාකරනය නොකිරීම නිසාම වසර දෙකකට ආසන්න කාලයක් තව දුරටත් පසුබාගොස් තිබූ පසුබිමක ඉන්ධන සපයා ගත නොහැකි තත්වයක් මත පාසල් වසා දැමීම කොතරම් අකාරුණිකද? එලෙස පාසල් වසා දිනකට ලක්ෂ 90 - 100 ක් අතර මුදලක් වැය කර තම නැතිවූ දේපල වෙනුවෙන් හඬා වැළපීම සඳහා පාර්ලිමේන්තුව පැවැත්වීම කෙතරම් සාධාරණද? එම මුදලින් පාසල් පැවැත්වීමට නොතිබුනේද? වැනි කරුණු ඉතා හොඳින් විමර්ශණය කල යුතුව තිබේ.

මෙම තත්වයට සමානව සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ බරපතල අනතුරක් නිර්මානය වී තිබේ. මේ වන විටත් එහි පූර්ව ලක්ෂණ ගනනාවක් මතුව තිබේ.

1. අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ හිඟය,

2. ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාවය සහ අධික වියදම මත ගොඩනැගෙන ප්‍රවාහන ගැටළුව,

3. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය්‍ය මණ්ඩලය විසින් ඉටු කරන ලද රාජකාරී වෙනුවෙන් ගෙවන වැටුප් සැළකිය යුතු ප්‍රමාණයකින් කප්පාදු කිරීම.

මේ වන විට සෑම වෛද්‍ය ක්ෂේත්‍රයක් සඳහාම බලපාන ඖෂධ විශාල ප්‍රමාණයක් හිඟ හෝ නැත්තටම නැති තත්වයකට පත්ව තිබේ. ශල්‍යකර්ම වලදී රෝගීන් සිහි නැති කිරීම සඳහා මෙන්ම දැඩි සත්කාර ඒකකවල

රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා ඇතුළු බෝ නොවන රෝග සඳහා භාවිතා කරන සමහර අත්‍යාවශ්‍ය ඖෂධ වකුගඩු රෝගීන් සඳහා භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධ, ඇතුළු බොහෝ දේ මෙන්ම රසායනාගාර පරීක්ෂණ සඳහා භාවිතා කරන රසායනික ප්‍රතිකාරක ඇතුළු අත්‍යාවශ්‍ය උපකරණ මෙන්ම මුත්‍රා බට, ශ්වසන උපකරණ සම්බන්ධ කොටස් සේලයින් පවා රෝහල් පද්ධතියෙන් දිනෙන් දින අතුරුදහන් වෙමින් පවතී.

ඉතාමත් කණගාටුවට කාරණය නම් කුඩා දරුවන් පෙළෙන හතිය, අපස්මාරය, වැනි රෝග සඳහා භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධ මෙන්ම දරුවන් වෙනුවෙන්ම සකස් කල ප්‍රතිජීවක සිරප් වැනි ඖෂධ පවා මේ වන විට රෝහල් පද්ධතිය තුල හෝ ඉන් පරිභාහිරව පවා සොයාගත නොහැකි තත්වයකට පත්ව තිබීමයි.

මීට අමතරව රෝහල තුල නේවාසික රෝගීන් වෙනුවෙන් පයන ආහාර වෙනුලවන් සිදුකරන ගෙවීම් පවා නතර වන තත්වයක් මතුව තිබේ. රෝගී සත්කාර සේවාව ගුණාත්මකව පවත්වා ගැනීමට නම් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රෝහල් කාර්ය්‍ය මණ්ඩලය අත්‍යාවශ්‍ය මෙන්ම නියමිත මොහොතේ රෝහල් කර පැමිණිය යුතුය.

පොදු ප්‍රවහන සේවාව ඉතමත් අකාර්ය්‍යක්ෂම මෙන්ම අවුල් සහගත ශ්‍රී ලංකාව තුල සෑම දිනකම පැය 24 ම දින 365 පුරාවටම විවෘත රෝහල් වෙත ඕනෑම මොහොතක පැමිණීම සඳහො වෛද්‍යවරුන් ඇතුළු සියළුම කාර්ය්‍ය මණ්ඩලය පාහේ තම පෞද්ගලික වාහන භාවිතා කරනු ලබයි. මේ සඳහො ඉන්ධන අත්‍යාවශ්‍ය ප්‍රමාණයට අත්‍යාවශ්‍ය මොහොපත් මෙන්ම අවම වියදමකින් සපයා ගැනීමට පහසුකම් තිබිය යුතුය. නමුත් මෙ වන විට ඉන්ධන වල අධික මිල හ ඉන්ධන හිඟය නිසා බොහෝ නිළධාරීන් සේවයට වාර්තා කල නොහැකි මට්ටමකට පත්ව තිබේ. එමෙන්ම රෝගීන්ටද බරපතල රෝගාබාධයකදී පවා රෝහල් කරා පැමිණීම වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකි වෙමින් තිබේ. සුගිය 23 වැනිදා දින දෙකක් වයසැති බිළිදෙකු ඉන්ධන සොයාගත නොහැකි වීමෙන් මරණයට පත් වීමේ ශෝකජනක පුවත ඒ බව සනාථ කරයි.

මේ අතර රටේ රුපියල් අර්බුධය එනම් රාජ්‍ය ආදායම නොලැබීමේ අර්බුධය කළමණාකරනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් ඉතාමත් සාහසික තීරණයක් ගෙන තිබේ. එනම් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ සියළුම වෘත්තිකයන්ගේ වැටුපෙන් සැළකි යුතු කොටසක් කපා දැමීම මගින් යම් මුදල් ප්‍රමාණයක් රාජ්‍ය වියදමට ඉතිරි කර ගැනීමයි.

මිලියන 22 ක පමණ ජනතාවකගේ සෞඛ්‍ය අවශ්‍යතා සෑම මොහොතකම රැකබලා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් 80,000 ( සංවර්ධිත රටවල සාමාන්‍යයට සාපේක්ෂව ) ක් පමණ සිටිය යුතු වුවත් දැනට සිටින 25000 ක පමණ ප්‍රමාණයෙන් මෙම අවශ්‍යතාව දිවා රාත්‍රී ඉටුකර ගනිමින් සේවාව සුමටව වත්වා ගැනුණි.

මෙහිදී වෛද්‍යවරුන් දිනකට වැය කරන සාමාන්‍ය රාජකාරී පැය ගනනට අමතරව දවසේ ඉතිරි කාලය තුල සේවය කිරීම වෙනුවෙන් අමතර රාජකාරී දීමනා නමින් ගෙවීමක් ලබා ගනිමින් තිබුණි. එයද දිනකට පැය 04 සහ උපරිමයකට සහ මසකට පැය 120 ක උපරිම සීමාවන්ට ටත්වය. බොහෝ අවස්ථාවලදී වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී කාලය මසකට පැය 120 ඉක්ම ගියද ඉහත සීමාවන්ට යටත්ව පමණක් දීමනාව ලබාගනිමින් විශාල කැප කිරීමක් කරමින් සිටියහ. නිවාඩු දින දීමනාවද උපරිමය මසකට දින 03 ක් පමණි. නමුත් රජ්‍ය සේවයේ මහජන නිවාඩු දින කොතෙක් පැවතියද වෛද්‍යවරයා ඒ සෑම දිනකම රාජකාරි ආවරණය කලද ගෙවීම් ලැබෙනුයේ දින 03 ක් සඳහා පමණි.

ආර්ථික අර්බුදය හේතුවෙන් දෛනික වියදම් විශාල වශයෙන් ඉහල ගොස් ඇති, සේවාවට පැමිණිම සඳහාම සමස්ත පඩි පතම වියදම් කිරීමට සිදුව ඇති, එමෙන්ම බැංකු වලින් ණය හා ලීසිං වාරික අනුකම්පා විරහිතව කපා ගන්නා සුබිමක සමස්ත වැටුපෙන් සැළකිය යුතු කොටසක් මෙසේ කප්පාදු කිරීම මගින් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සේවකයන් රෝහල් වෙත පැමිණිම අධෛර්ය්‍ය කරවන බැවින් සෞඛ්‍ය සේවා සැපයුම ක්‍රමයෙන් අඩාල වනු ඇත. මේ අතර රජය විශේෂ අවධානයක් යොමු කරමින් පවසා සිටියේ ඉතාමත් ඉක්මනින් වෛද්‍ය හෙද ඇතුළු විශේෂ පුහුණුවක් සහිත කණ්ඩායම් වලට විදෙස්ගත වීමට අවස්ථාව දෙන බවයි.

එමගින් මෙරට නිදහස් මහජන සෞඛ්‍ය සේවාවේ අවමංගල උත්සවය සඳහා ආණ්ඩුව සූදාවම් වන බව පැදිලිව පෙනෙන්නට තිබේ. මෙම තත්වය ඉතාමත් හොඳින් අවබෝධ කර ගත් අප සංගමය, මතුවෙමින් පවතින මෙම ඉතාමත් අවාසනාවන්ත තත්වය වෙනස් කිරීමට ආණ්ඩුව මැදිහත් නොවන්නේ නම් සියළුම වෛද්‍යවරුන් සමඟ එක්ව ඉදිරියේදී මහජන දැනුවත් කිරීම සිදුකරන බවත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවත් අවධාරණ කර සිටිමු. එමගින් මහජනතාවට සිදුවන අපහසුතාවයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද ප්‍රකාශ කරමු.