ඉන්දීය සහනාධාර බෙදන්න කඩිනම් යාන්ත්‍රණයක් සකස් කරන්න

ඉන්දීය සහනාධාර බෙදන්න කඩිනම් යාන්ත්‍රණයක් සකස් කරන්න

ඉන්දීය සහනාධාර යටතේ ලබාදෙන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු ආදායම්ලාභීන් වෙත ලබාදීම සම්බන්ධව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ආර්ථික සංවර්ධන/ සංවර්ධන නිලධාරීන් මඟින් අදාළ ද්‍රව්‍ය බෙදාදීමට දරණ ඇතැම් උත්සහයන් මඟින් නිලධාරීන්ට ග්‍රාමීය වශයෙන් විරෝධතා එල්ලවිය හැකි බැවින් එම තත්වය වැළැක්වීම සඳහාත් කඩිනමින් පිළිගතහැකි යාන්ත්‍රණයක් මගින් කටයුත්ත සිදු කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට බාධාවක් නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

උක්ත උධෘතය යටතේ 2022/05/20 දින FC/09/03/05/India-Donation/Distri අංකය සහිත ආහාර කොමසාරිස්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති ලිපිය හා බැඳේ.

රටේ ආර්ථිකය බිඳවැටීමත් ආර්ථික අතින් බංකොලොත් වීමත් හේතුව මත ලාංකීය ජනතාව පත්ව ඇති ආර්ථික සහ ආහාර දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ඉන්දියානු රජය විසින් ලංකාව වෙත ලබා දී ඇති ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩ සටහන සම්බන්ධයෙන් අවධානය යොමු කරමු.

වෙනත් රටවලට අත පා ලාංකීය ජනතාවට ජීවත්වීමට සිදුවීම පිළිබඳ බරපතල කණගාටුවක් පවතින අතර අපේ රට එවැනි තත්වයකට ඇද දැමීම පිළිබඳව රට පාලනය කළ හා කරන පාලක කණ්ඩායම් කෙරෙහි දැවැන්ත විරෝධයක් ද පවතී. කෙසේ වෙතත් දුෂ්කර මොහොතක ඉන්දියානු රජය අපේ රටේ ජනතාව වෙනුවෙන් ලබා දුන් සහයෝගය පිළිබඳව අගය කරමු.

ජනතාව මුහුණ දී ඇති දැවැන්ත දුෂ්කරතා හමුවේ ජනතාවගේ පාර්ශවයේ සිට අප සේවාවක් ලෙස ජනතාවට අවශ්‍ය සහයන් ලබාදීම පිළිබඳව ගැටළුවක් නොමැති අතර ඒ සඳහා සූදානම් බව ද දන්වා සිටිමු.

නමුත් 2022/05/20 දිනැති ආහාර කොමසාරිස් වරයාගේ හා මුදල් අමාත්‍යාංශ චක්‍රලේකවල සඳහන් වර්ගීකරණයන් හා ඊට අදාළ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී මතුවන ගැටළු පිළිබඳවත් ඒ සඳහා පිළිගතහැකි කඩිනම් ක්‍රමවේදයක අවශ්‍යතාවය පිළිබඳවත් අදාළ අංශවල අවධානය යොමු කරමු.

2. තෝරාගත් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා හාල් 20kg බැගින් වාර 2 කදී හාල් 20නට ද, කිරිපිටි 1kg බැගින්ද ලබා දීමට නියමිතය,

3. එම ප්‍රදානයන් රටේ සියලූම අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදීමක් නොමැති අතර අඩු ආදායම්ලාභී පවුල්වලත්, ගර්භනී මව්වරු සිටින හෝ කිරිදෙන මව්වරු සිටින හෝ වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන් සහිත පවුල් සඳහා ඉහත ප්‍රදානය සීමා කර ඇත,

4. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් අදාළ නිර්ණායක යටතේ පවුල් තෝරාගැනීම සිදු කළයුතු බවට දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී ඇත,

5. අඩු ආදායම් සීමා තීරණය කිරීම හා සහතික කිරීමේ රාජකාරීමය බලය සහිත පිරිස්, දිළිඳුකම සම්බන්ධයෙන් වන සීමා නිර්ණායක ලබාදිය යුතු ඇතැම් පාර්ශවයන් රටේම සාතිශය බහුතරයක් ජනතාව දුෂ්කරතාවයකට පත්ව ඇති පසුබිමක ඉන් පිරිසක් තෝරා ගැනීමේ දී මතුවන අපහසුතාවය සැලකිල්ලට ගෙන අදාළ වැඩ සටහනින් ඉවත්වන බව දැනුම් දී ඇත,

6. උක්ත ප්‍රදානය සඳහා පවුල් තෝරාගැනීමේ දී සඳහන්ව ඇති නිර්ණායක අනුව ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී හා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය යන අත්‍යවශ්‍ය පාර්ශවයන්ගේ සහතික හා නිර්දේශය නෛතිකව අවශ්‍ය බව අප සංගමයේ ස්ථාවරය වේ.

නමුත් ඊට අදාළ ඇතැම් පාර්ශව උක්ත දුෂ්කරතා නිසා ඉන් ඉවත්වීම මත එම කාර්ය කෙසේ හෝ කරගැනීමේ වුවමනාව මත ඇතැම් ආයතන ප්‍රධානීන් සංවර්ධන නිලධාරීන්/ආර්ථික සංවර්ධන නිලධාරීන් මඟින් සිදුකරගැනීමට බල කරමින් සිටී. එය අපි අනුමත නොකරමු. එය සාර්ථක හා පිළිගත් ක්‍රමවේදයක් නොවන බවද පෙන්වා දෙන්නෙමු,

7. අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී, කිරිදෙන හා වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන් සහිත පවුල් තීරණය කිරීමේ වගකීම ආර්ථික සංවර්ධන හෝ සංවර්ධන නිලධාරීන්ගේ විෂයපථයෙන් බැහැර කරුණක් වන අතර, වෙනත් රටක් අපේ රටේ ජනතාවට ලබාදුන් ආහාර ද්‍රව්‍ය කඩිනමින් ලබාදිය යුතු නිසාත්, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන/ සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිනි, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ඒකාබද්ධ කමිටුවක් මඟින් අදාළ ප්‍රතිලාභීන් තෝරා ප්‍රදානය කිරීමට පියවර ගන්නා ලෙස යෝජනා කරමු. ඒ සඳහා සංවර්ධන/ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සහය ඊට අදාළ කරගත හැකි බවත් අප සංගමය ඉතා වගකීමෙන් පෙන්වා දෙන්නෙමු,

8. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට අප දන්වා සිටින්නේ ආර්ථික සංවර්ධන/ සංවර්ධන නිලධාරීන් මඟින් කෙසේ හෝ අදාළ ද්‍රව්‍ය බෙදා දීමට දරණ ඇතැම් උත්සහයන් මඟින් නිලධාරීන්ට ග්‍රාමීය වශයෙන් විරෝධතා එල්ලවිය හැකි බැවින් එම තත්වය වැළැක්වීම සඳහාත් කඩිනමින් පිළිගතහැකි යාන්ත්‍රණයක් මගින් කටයුත්ත සිදු කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට බාධාවක් නොමැති බවත්ය.