ඖෂධ හිඟයට සහ සෞඛ්‍ය ප්‍රශ්නයට ඖෂධ නියාමන අධිකාරියත් වගකිව යුතුයි

ඖෂධ හිඟයට සහ සෞඛ්‍ය ප්‍රශ්නයට ඖෂධ නියාමන අධිකාරියත් වගකිව යුතුයි

ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් ක්‍රියාකාරිත්වය හේතුවෙන්, රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට මෙන්ම හා ඊට ඉදිරිපත් වන ආයතන සදහා අවසරය ලබා නොදීම හේතුවෙන් රට තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය අධෛර්‍යට පත්ව ඇත. එසේම පුද්ගලයන්ගේ සහ ආයතන වල පරිත්‍යාග හරහා කළමනාකරණය වෙමින් පවතින වත්මන් සෞඛ්‍ය සේවාව සඳහා ලබාදෙන පරිත්‍යාග ලබා ලගැනීමේදී ද, ඖෂධ නියාමන අධිකාරියේ ගතානුගතික, සාම්ප්‍රදායික, අසංවේදී තීරණ ගන්නා සම්ප්‍රදාය බරපතල බාධාවක් වී ඇත.

අතිශය දියුණු ක්‍රමවේද ඇති සහ ඕනෑ තරම් මුදල් ඇති රටවල නාස්තිකාර කමවේද, කිසිදු අනුවර්තනයකින් තොරව සහ අපේ රටේ ආර්ථිකයකට හෝ රෝගීන්ට ලබාදෙන සෞඛ්‍ය සේවාවේ යථාර්ථය නොසලකා අනුගත නොකිරීම හේතුවෙන්, ඩොලරයකට ලබාගත හැකි ඖෂධය සදහාම, ඩොලර් 10ක පමණ අනවශ්‍ය මිලක් ගෙවීමට සිදුවීම අපේ රටේ ආර්ථිකටට කිසිසේත් ගැලපෙන්නේ නැහැ.

බිම තුල ප්‍රායෝගික නොවන, ඊනියා කොලිටියක් සඳහා සිදු කරන මුදල් නාස්තිය නොවන්නට අපේ රටේ ඖෂධ බිල පස් ගුනයකින් අඩු කර ගැනීමට හැකිය.

ආසියාතික කලාපයේ ඖෂධ නිෂ්පාදනය සඳහා නම් දරා සිටින, එමෙන්ම දියුණු රටවලට පවා ඖෂධ අපනයනය කරන රටවල පවා අනුගමනය නොකරන ක්‍රමවේද හා ලිපිගොනු මාෆියාව හරහා,  ඖෂධවල තත්ත්වය විමසීම සඳහා පවතින  ක්‍රමවේදය හරහා ඖෂධයේ කිසිදු වෙනසක් නොමැතිව, ලිපි ගොනු ලබා ගැනීම සඳහා පමණක් වැය වෙන මුදල හේතුවෙන්, ඖෂධ මිල දස ගුණයකින් පමණ වැඩිවන අවස්ථාවන් නිරීක්ෂණය කල හැක.

රටවල් ගණනාවක, ක්‍රම කිහිපයකින් කොටස් කිහිපයක් එකට ආදා ගනිමින් නිර්මාණය කර ඖෂධ නියාමන අධිකාරියේ නියාමන පනත හේතුවෙන්, ඖෂධ  නියාමනය, තත්ත්ව පාලනය සහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය රටේ සෞඛ්‍ය සේවාට වග නොකියන, අසංවේදී තත්වයකට පත්ව ඇත.

ඇමරිකාවේ FDA ආයතනයෙහි කොටසක්ද, ඔස්ට්‍රේලියාවේ TGA ආයතනයෙහි කොටසක්ද, යුරෝපයේ EMEA  ආයතනයේ කොටසක්ද වශයෙන් විවිධ නියාමන ආයතනවල කොටස් අතාට්කිකව පෙල ගස්වා සකස් කර ඇති ඖෂධ නියාමන  අධිකාරී පනත, වදුරෙකුගේ ඔළුවක්,  මාළුවෙකුගේ වරලක්, බූරුවෙකුගේ වල්ගයක්, සහ මිනිසෙකුගේ කකුල් දෙකක් සහිතව සාදාගත් විකෘති සහගත සත්ත්වයකු බිහි කර ඇත. ඒ නිසාම, එමගින් සෞඛ්‍ය සේවාවට ඉතා අසංවේදී උත්තර සැපයීම හේතුවෙන් දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනවලට සහ ඖෂධ ලියාපදිංචි කරන ආයතන සඳහා වසර ගණං පෝලිමේ සිටින්නට සිදු වීමක් සහ ඒ පිළිබද කිසිදු වගවීමක් නොමැති වීමක් දක්නට තිබේ.

ඖෂධ නියාමන ඇධිකාරියට ලැබෙන ලිපිගොනුවක් යම් නිශ්චිත කාලසීමාවකදී අවසාන කිරීමේ නීතියක් වහා ස්ථාපිත විය යුතුය. නිශ්චිත හේතුවකින් තොරව එසේ නොකරන අවස්ථාවන්හිදී, ඊට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට හැකියාව ලබා දීමත්, ඒ හේතුවෙන් මහ ජනතාවට හා රටට සිදුවන පාඩුව, ඊට වගකිවයුතු නිලධාරීන්ගෙන් නැවත අයකර ගැනීමටත් නීති සැකසිය යුතුය.

ඊයේ දවසේ දී වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී ද බොහෝ පාර්ශවයන් විසින් ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියා කලාපය විවේචනය කළ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට වග කියන කියන  ඖෂධ නියාමන අධිකාරියක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ එකගතාවයක්ද  පළවිය. මෙවන් එකගතාවයන් වසර ගණනාවක් තිස්සේ ඇතිවුවද, වසර ගණනාවක් තුල එම වෙනස කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් එම එකගතා සාකච්ඡාව වලට සීමා නොකරමින් කඩිනමින් ක්‍රියාත්මක කරීම වත්මන් සෞඛ්‍ය බලධාරීන්ගේ අනිවාර්‍ය වගකීමකි.

අපට වාර්තා වන අන්දමට මේ වන විටත් පිළිතුරු අපේක්ෂිතව ප්‍රමාදවන ලිපි ගොනු තුන් සියයකට වඩා අධික ප්‍රමාණයක් ඖෂධ නියාමන අධිකාරියේ පවතින අතර, ඉතා කෙටි කාලයක් ඇතුළත එම තීන්දු ලබා දීම අනිවාර්ය කළ යුතුය. එසේම අග්‍රාමාත්‍යවරයා එකඟ වූ පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට පාලනය කළ හැකි, සංවේදී ඖෂධ නියාමන  සහිත අධිකාරියක් බිහි කිරීම සඳහාත්, වැඩි මුදලක්  මුදල් ගෙවා හෝ කෙටි කාලයක් ඇතුළත කටයුතු අවසාන කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතුය.

Ravi kumudesh photo 2

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය