පෞද්ගලික බස් අද සිට සීමා වෙන ලකුණු

පෞද්ගලික බස් අද සිට සීමා වෙන ලකුණු
බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද (06) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
 

ඩීසල් හිඟය හේතුවෙන් අද (06) සිට බස් රථ ධාවනයෙන් වැලකී සිටීමට තීරණය කළත් නව පාසල් වාරය ආරම්භ වන බැවින් හැකි පරිදි බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

බස් රථ ධාවනය හෙට සිට සමස්ථ බස් රථවලින් තුනෙන් එකක් හෙවත් පන්දහසකට පමණ සීමා වනු ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැදී සිටීමට සිදුවීමත් ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදුවුවත් එහිදීද අඩුපාඩු පවතින බවත් වැඩිදුරටත් පැවසීය.